hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 8:15



කෙටි කාලයක් රට වෙනුවෙන් ඉවසා සිටින ලෙස ගරුතර මහා සංඝ රත්නයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවා.

පන්සලේ බෝධිය වටේ පහන් පත්තු කර බෝධි පූජාවන් හි නිරතවන ලෙසට ඉල්ලීමක් සිදුකරන බවද කාරියවසම් මහතා ප්‍රකාශ කළේ

ඒ පක්ෂ කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම මත මෙරටට අත්වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියන එක දැන් අපිට තේරෙනවා. මොකද ඔවුන් රටකට උදව් කරනකොට රටකට ආර්ථික සහයෝගය දෙනකොට ඒ සම්බන්ධයෙන් එන කොන්දේසි මාලාවක් තියෙනවා. මම හිතන්නේ ජනතාවගේ විදුලි බිල වැඩිවෙලා තියෙනවා. ජල බිල වැඩිවෙලා තියෙනවා. ආර්ථික වශයෙන් යම්කිසි අපහසුතාවයන්වලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවා. ජාතික ආර්ථිකයක් ගොඩගන්නේ නැතුව ණය මත පදනම් වෙච්ච ආර්ථිකයකට යන්න ගියාම මෙවැනි දේට රටක් හැටියට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ සිදුවීම තමයි වෙලා තියෙන්නේ”

“මම දැක්කා විදුලි බිල වැඩි කිරීම ගැන පහුගිය දවස්වල ලොකු කළබගෑනියක් කරනවා. අපේ ස්වාමීන් වහන්සේලාගේත් ලොකු විරෝධයක් තියෙනවා, පන්සල්වල විදුලිබිල වැඩිවෙලා කියලා, ඉතා ගෞරවයෙන් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා අපේ හාමුදුරුවනේ මේ දේ කැමැත්තෙන් රජය විසින් කරන දෙයක් නෙමෙයි. ඉතින් අපි බෝධි පූජාව කරන වෙලාවට ඉස්සර වගේ පන්සලේ බෝධිය වටේ පහන් ටිකක් පත්තු කරලා අපි බෝධි පූජාව කරමු. ආයිත් අපිට පුළුවන් වෙයි නුදුරු අනාගතයේදී ලස්සනට විදුලි ආලෝකයෙන් ඒ දේ කරන්න. එතකල් අපි පොඩ්ඩක් රට වෙනුවෙන් ඉවසමු කියන ඉල්ලීම කරනවා.”

මේ අතර ආගමික ස්ථානවල විදුලි බිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් එළඹෙන පුරපසළොස්වක පොහොය දින රට පුරා සියලු වෙහෙර විහාරස්ථානවල විදුලි පහන් නිවා දමා විරෝධය දැක්විය යුතු බවට මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: