hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 01, පෙ.ව. 9:31



කැබිනට්ටුව පත් කිරීම සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීම සම්බන්ධව පොහොට්ටුව සහ ජනාධිපතිවරයා අතර එකඟතාවන් තිබී ඇති අතර එම කාරණා ඉටු නොවීම හේතුවෙන් අලුත් අර්බුදයක් ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා බලයට පත් වී මාස හයකට වඩා වැඩි කාලයක් ඉක්මවා ගියද එදා දුන් පොරොන්දු තවමත් ඉටු නොවීම පිළිබඳ පොහොට්ටු අභ්‍යන්තරයේ කතිකාවක් නිර්මාණය වී ඇතැයි වාර්තා වනවා.

වාර කිහිපයක් ජනාධිපතිවරයා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ ද විවිධ හේතු පදනම් කර ගනිමින් පොහොට්ටුවේ අවශ්‍යතා ඉටු කිරීම ජනාධිපති පාර්ශ්වය විසින් කල් දමා ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

අවසන් සාකච්ඡාවේදී නිදහස් උත්සවයෙන් පසුව අදාළ ඉල්ලීම් ඉටු කරන බවට ජනපති පොරොන්දු වුවද, කැබිනට් පත් කිරීම සහ ආණ්ඩුකාරවරුන් පත් කිරීම තවමත් සිදු වී නොමැති බවයි පොහොට්ටුව චෝදනා කරන්නේ.

දේශපාලන ආරංචි අනුව මෙම කරුණ හේතු කරගෙන පොහොට්ටුව මේ දිනවල සිටින්නේ තරමක කලකිරීමෙන්.

මේ පිළිබඳව විමසීම් කරන විට, ඉහළින් දන්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන් ඇතුළු පත්වීම් ඉවත් කිරීමට ගියහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමනාප වනු ඇති බවයි.

කෙසේ වෙතත් මේ දිනවල විදෙස් සංචාරයක නිරත වී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණි පසුව ඔහු සමඟ කතාබහ කොට තීරණයක් ගැනීමට සූදානම් බව ආණ්ඩු‍වේ ඉහළ තැනකින් පොහොට්ටුවට දන්වා තිබෙනවා.

ඒ අනුව පසුගිය සතියේ දිනක පොහොට්ටුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට විශේෂ පණිවුඩයක් යවා ඇතැයි එම ආරංචි මාර්ග තහවුරු කළා.

“අපි එකට වැඩ කරගෙන යන්න කැමැතියි. ඒත් එහෙම වැඩ කරගෙන යන්න අපි කියූ කාරණා ටික ඉටු කරන්න. අදාළ පත්වීම් කඩිනමින් සිදු කරන්න” මෙය අවධාරණාත්මක ස්වරෑපයකින් යොමු කළ පණිවුඩයක් යැයි දේශපාලනඥයින් පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: