hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 10, පෙ.ව. 8:49



එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් හා ආසන කළමනාකරුවන් පත්කිරීමට අදාළව අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අයදුම්පත්‍ර ලැබී ඇති බැවින් අයැදුම්කරුවන්ට කලාප මට්ටමින් වගකීම් පැවැරීමට එජාප කළමනාකරණ නිලධාරි රැස්වීමේදී තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව මැතිවරණ කොට්ඨාසයකට කලාප දෙකක් හෝ තුනක් ඇතිකර වගකීම් පැවැරීම සිදුවන බවයි මහලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එම අයැදුම්කරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට යම් කිසි කාලසීමාවක් ලබාදී ඉහළම සුදුසුකම් පෙන්වන පුද්ගලයන්ට ආසන සංවිධායක ධුර පිරිනමන බව සඳහන් කළා.

දිවයින පුරා ආසන 160 නියෝජනය වන පරිදි කලාප 300කට වැඩි ප්‍රමාණයක් ඇති කිරීමටත්, එම කලාප පිළිබඳව අධ්‍යයනයක යෙදීමටත්, ඒ සම්බන්ධව වගකීම් පැවැරීම සිදුකරන ආකාරයත් කළමනාකරණ නිලධාරි රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළා.

එසේම පක්ෂයේ ප්‍රධාන නිලධාරියකුට පළාතක් වන සේ වගකීම පැවැරීමට තීරණය කළ බවත් ඒ අනුව සභාපති, මහලේකම්, නියෝජ්‍ය නායක, උපනායක, ජාතික සංවිධායක ආදී පක්ෂයේ ප්‍රධාන නිලධාරීන්ට පළාත් බැගින් භාරදී පක්ෂය සංවිධානය කිරීමේ වගකීම පැවරෙන බවත් හෙතෙම සඳහන් කළා.

එම නිලධාරීන් නිශ්චිත කාලයක් තුළ අදාළ පළාතේ ප්‍රගතිය පිළිබඳව පක්ෂයේ මහලේකම්වරයාට කරුණු ඇතුළත් වාර්තාවක් භාරදිය යුතු බවත් අනතුරුව එම වාර්තාව කළමනාකරණ නිලධාරි රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මහලේකම්වරයා කියා සිටියා.

මේ අතර, ආසන සංවිධායකවරුන් හා ආසන කළමනාකරුවන් තෝරාපත් කර ගැනීමට පසුගිය 01 වැනිදා පැවැති සම්මුඛ පරීක්ෂණ අවසන් කිරීමට නොහැකිවූ බවත් ඒ අනුව මේ මස අවසන් සතියේදී සහ ජනවාරි මුල් සතියේදී යළිත් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කළ බවත් රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

එසේම පළාත් පාලන කොට්ඨාස මට්ටමින් අයැදුම්පත්‍ර කැඳවීම සඳහා ලබන සතියේදී දැන්වීම් පළකිරීමට පක්ෂය තීරණයක් ගත් බවද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: