hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 04, පෙ.ව. 7:44



ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුව ලකුණින් තරග කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව සිටි සියලු දේශපාලන පක්ෂ සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පෙරේදා (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සාගර කාරියවසම් මහතා,

“සමස්ත ශ්‍රී ලංකාවාසි සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මේ වන විට රටේ අවධානය යොමු වී තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා නොබෝ දිනකින් මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය පළ කරන බවට. අප පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවරත් සන්ධානගතව සිටින සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කර තිබෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරග කරනවා.

“මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වූවාට පසු අවශ්‍ය ඉදිරි කටයුතු කෙරෙනවා. මෙයට පෙර කටයුතු කළ ආකාරයට ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ‘ යන නාමය යටතේ පොහොට්ටුව ලකුණින් මෙවරත් පළාත් පාලන ඡන්දයට තරග කරනවා. අප එක්සත් ජාතික පක්ෂය සමඟත් යම්තාක් දුරකට සාකච්ඡා කළා. එහෙත් මේ වන විට අපත් සමඟ කලින් සන්ධානගත වූ පක්ෂ හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අප තීරණයකට එළඹුණා පොහොට්ටුව ලකුණින් තරග කිරීමට. ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේ අපේක්ෂකයන් සහිතව ඔවුන්ගේ පක්ෂවල ලකුණින් තරග කිරීමටත් සමහර විට අවස්ථා ඇති වෙයි. කෙසේ නමුත් අතිබහුතරයක් පළාත් පාලන ආයතන පොහොට්ටුව ලකුණින් තරග කරනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වීමක් පිළිබඳ තවමත් ඍජු තීරණයක් ගෙන නැහැ. දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. ඒ හැර මෙතෙක් තීරණයක් ගෙන නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: