hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:25



ජැක්සන් ඇන්තනිට ආදරය කළ ඔහුගේ හැකියාවන් අගය කළ හැම කෙනකුම ඔහු ගැන තබන සටහන්වලින් Facebook අවකාශය පිරී ඉතිරී ගිහින්. Facebook හෝ වෙනත් සමාජ මාධ්‍ය අවකාශයක් තුළ නැති තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔහුගේ වියෝව ගැන සුසුම්ලමින් සිටින බවට සැකයක් නැහැ. හෙට අනිද්දා වන විට සමාජ මාධ්‍ය අවකාශය වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළත්, පොදුවේ සමාජය තුළත් ජැක්සන් පිළිබඳ කෙරෙන කතාබහ වැඩිවෙයි. එහෙම වුණාට අපි කාටවත් ජැක්සන්ව හරියට කියවා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ජැක්සන් නිවැරදිව කියවාගෙන කලාකරුවෙක් ලෙස ඔහුගේ භූමිකාව තක්සේරු කිරීම එක්තරා විදියක අභියෝගයක්. ජැක්සන් සම්බන්ධන්යෙන් අපට එවැනි අභියෝගයක් මතුවන්නේ ඔහු ඔහුටම අභියෝගයක් වූ කලාකරුවෙක් නිසා.

ජැක්සන් වේදිකා,සිනමා,රූපවාහිනී නළුවෙක්. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය තිර පිටපත් රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක්. ගීත රචකයෙක් වගේම ගායකයෙක්. පූරකවරයෙක් වගේම ජනමාධ්‍ය පරිපාලකයෙක්. ගුරුවරයෙක්. ඉතිහාසය පිළිබඳ ගවේෂකයෙක්. ග්‍රන්ථ කතෘවරයෙක්. කලාවේ මේ කුමන ඉසව්වක සැරිසැරුවත් ජැක්සන් එහි නිරතවුණේ තමන් කරන කටයුත්ත ගැන පූර්ණ අවබෝධයකින්. තමන් කරන්නේ මොකද්ද, එය කළයුත්තේ ඇයි කියන දැනුවත්භාවයකින් යුක්තව. තමන් කරන ඕනෙම වැඩකට අර්ථයක් දෙන්න හැකියාව ඔහුට තිබුණා. මේ නිසා තමන් නියැලෙන කුමන කලාවකදී වුවත් ඔහු ප්‍රකට කළ හැකියාව,දක්ෂතාව,කුසලතාව ,නිර්මාණශීලීභාවය, බුහුටිකම එකකින් එකකට දෙවැනි වුණේ නැහැ. ඔහු ඔහුටම අභියෝගයක් වුණේ ඒ නිසා. ඔහුට මහා ජන ප්‍රසාදයක් හිමිවෙන්නෙත් එකකට එකක් දෙවැනි නොවන ඔහුගේ හැකියාවන් නිසා.

ජැක්සන් ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා දැක්වූ කලාකරුවෙක් වුවත්, ඔහුගේම වචනවලින් කියනවානම් ඔහු “පෙරේත” උණේ සිනමා රංගනයට. ඊළඟට අධ්‍යක්ෂණයට. මීට මාස දාහතරකට පෙර මාරාන්තික අනතුරට මුහුණදෙන අවස්ථාව වන විට සිනමා නළුවකු වගේම අධ්‍යක්ෂවරවෙක් විදිහටත් තමන්ගේ දක්ෂතාව ඔප්පු කර පෙන්වීමට සහ මෙරට සිනමාව තුළ තම අනන්‍යතාව සටහන් කරන්නට ජැක්සන්ට පුළුවන් වෙලා තිබුණා. තමන් විශිෂ්ට රංගන ශිල්පිවෙක් බව ඔහු අපට ඔප්පුකර අවසන්. එහෙත් නළුවෙක් ලෙස අපට දැකගැනීමට හැකිව තිබුණේ ඔහු සතුව තිබූ රංගන කෞශල්‍යයෙන් අල්පයක් තරම් ප්‍රමාණයක් පමණක් බව මගේ අදහසයි. ඒ බිහිසුණු අනතුර අධ්‍යක්ෂවරවෙක් ලෙස ඔහු සතු කුසලතාවේ උපරිමය සහ සිනමාවෙන් ඔහු අපට කියන්නට පෙරුම් පුරමින් සිටි බොහෝ දේ අපට අහිමි කළා.

ජැක්සන් සිනමාකරුවෙක් වීමේ පෙරේතකමකින් හිටිය වගේම, රටේ ජනතාව ඔහුව වැඩියෙන්ම අඳුනන්නෙත් සිනමාකරුවෙක් විදිහට. මේ නිසා ඔහු ගැන කතාකරන විට වැඩි බරක් තැබෙන්නේ ඔහුගේ රංගන කුසලතාවට. ඉදිරියේදීත් ජැක්සන් ගැන කතාකරන හැම වෙලාවකම ජැක්සන් කියන නළුවා ඉස්මතු වීම වළක්වන්න බැහැ. ජැක්සන් ජීවත්ව සිටියදීම ඔහුගේ සිනමාව ගැන බොහෝ ඇගයීම්,විනිශ්චයන් සිදුව තිබෙනවා. මා හිතන විදියට ඔහු ජීවත්ව සිටියදී වගේම මියගිය පසුත් අඩුවෙන්ම කතා කෙරෙන්නේ හෝ කිසිසේත්ම කතා නොකෙරෙන්නේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේස්ත්‍රය තුළ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන්. රූපවාහිනී පූරකවරවෙක් ලෙස ඔහු ප්‍රකට කළ හැකියාව ගැන කතාකෙරෙන නමුත් නිර්මාණ අධ්‍යක්ෂවරවෙක් සහ පරිපාලකවෙක් ලෙස ජැක්සන් ඉටුකළ සේවය ගැන සඳහන් වන්නේවත් නැති තරම්ය. මිතුරෙක් විදිහට වගේම ජැක්සන්ගේ අධීක්ෂණය යටතේ සවන ගුවන් විදුලියේ සේවය කළ මාධ්‍යකරුවෙක් හැටියටත් මූලික වශයෙන්ම සවන ගුවන්විදුලිය මුල් කරගෙන ජැක්සන් පිළිබඳ අපේ මතකය සටහන් කරන්නට අප කල්පනා කරන්නේ ඒ නිසයි.

රටම දන්නා නළුවා, කලාකරුවා ජැක්සන් ඇන්තනි මට පෞද්ගලිකව මුණ ගැසෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී. මතක විදිහට, ඒ 1987 වසරේ අග භාගය හෝ 1998 වසරේ මුල. මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ අදහසකට අනුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය මගින් ආරම්භ කළ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට. ජැක්සන් හැරුණාම තවත් ප්‍රසිද්ධ කලාකරුවන් දෙපළක් අපේ කණ්ඩායමට අයත් වුණා. ඒ ජයලත් මනෝරත්න සහ ඩග්ලස් සිරිවර්ධන. ඒ වගේම එවකට අප නමින් පමණක් දැන සිටි මඩුළුගිරියේ විජේරත්න, නිහාල් රන්ජිත් ජයතිලක, චන්දන ගුණවර්ධන, නෙල්සන් පීරිස් වගේ කලාවට ජනමාධ්‍යයට සම්බන්ධ තවත් කිහිපදෙනකුත් කණ්ඩායමට ඇතුළත්ව සිටියා. මනෝ අය්යා වගේම ඩගී අය්යා ජැක්සන්ට වඩා වේදිකාවේ ජ්‍යෙෂ්ඨයන්. ජැක්සනුත් ඒ වනවිට වේදිකාවේ මරාසාද් වගේම රූපවාහිනියේ කුරුතේරිස් වගේ චරිත සඳහා හොඳම නළුවා විදිහට සම්මාන වගේම රසික හදවත් දිනාගෙන හිටපු නළුවෙක් . ඒත් මනෝ අය්ය ,ඩගී අය්ය වගේම ජැක්සනුත් තමන්ගේ ජනප්‍රියකම හෝ තමන් දිනාගත් සම්මාන විශ්වවිද්‍යාලයට අරන් ආවේ නැහැ. ඔවුන් සියලුදෙනාම අප වගේම තවත් පශ්චාද් උපාධි අපේක්ෂකයෙක් පමණක් වුණා. විශ්වවිද්‍යාලයේ දී මට හමුවුණේ ජැක්සන් කියන නළුවා විතරක් නෙවෙයි. පසු කාලීනව මහා සිංහලේ වංශකතාව, ගඟ දිගේ වගේ රූපවාහිනී වැඩසටහන්වලින් වගේම, අබා වගේ ඓතිහාසික චිත්‍රපට හරහා මේ රටේ ජනතාව හඳුනාගන්නා ඇසූපිරූ තැන් ඇති, මේ රටේ ඉතිහාසයට, ලාංකිකත්වයට දැඩි ලෙස ආදරය කළ පර්යේෂකයා, ගවේශකයා, ජනමාධ්‍යකරුවා, ඉතිහාසය වගේම වර්තමානය සහ අනාගතය ගැනත් නිර්වචනයක්, අදහසක් තිබුණු පිරුණු මිනිසෙකුත් මට හමුවුණා.

ජපුරේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සම්බන්ධ වෙනකොට මම සේවය කරමින් හිටියේ සිරස මාධ්‍ය ආයතනයේ. ජැක්සන් ඒ වන විට ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික ගුවන් විදුලිය වන FM 99 ගුවන් විදුලියේ සිංහල සේවයේ නිර්මාණ අධ්‍යක්ෂ විදියට වැඩ භාර අරගෙන වැඩි කලක් නැහැ. එහෙම නැත්තන් ඔහු ඒ තනතුරට පත්වෙන්නේ පාඨමාලාව ආරම්භ වුණාට පස්සේ. දින වකවානු නිශ්චිතව මතක නැහැ. ජැක්සන් ‘සවන FM ” ලෙසින් නම් කෙරුණු නව ගුවන් විදුලි නාලිකාව ප්‍රතිසංවිධානය කරමින් නව වැඩසටහන් හඳුන්වාදෙමින් රටට නව ගුවන් විදුලි ආකෘතියක් හඳුන්වා දෙන්නට යුහුසුළුව සිටින අතරේ දඩුවම් මාරුවක් ලෙස සිරස ගුවන් විදුලියෙන් MTV ප්‍රවෘත්ති අංශයට මාරුකර සිටි මා, සිරස පබ්ලිකේෂන් නමින් අලුතින්ම ආරම්භ කරන ලද සමාගමකින් ප්‍රකාශයට පත් කරන්නට සූදානම්ව තිබූ ‘TV ශ්‍රී ලංකා’ නම් ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී සඟරාවේ සංස්කාරකවරයා ලෙස පත්කෙරුණා. සවන ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස තමන් සමග එක්වන ලෙස ජැක්සන් මට ආරාධනා කළේ ඒ අතරවාරයෙයි. එහෙත් TV ශ්‍රී ලංකා සඟරාවේ වගකීම නිමල් අය්යා (නිමල් ලක්ෂතිආරච්චි ) මට පෞද්ගලික්වම කතාකොට භාර දුන් වගකීමක් නිසා මෙන්ම ඒ වනවිට සඟරාවේ එකම කලාපයක් හෝ ප්‍රකාශයට පත්කර නොතිබූ නිසාත්, මා ජැක්සන්ගේ ඉල්ලීම පිළිගත්තේ නැහැ. එහෙත් මාස කිහිපයක් යන විට සිරස පබ්ලිකේෂන් ආයතනයට හෝ TV ශ්‍රී ලංකා ආයතනයට වැඩි ආයුෂ නොමැති බව හැඟී ගිය නිසා ජැක්සන්ගේ ආරාධනය පිළිගන්නට මා තීරණය කළා. සවන ගුවන්විදුලිය හරහා ජැක්සන් වෙනසක් කරන්නට උත්සාහ කරමින් සිටින බව හැඟීයෑම මගේ තීරණයට උත්තේජනයක් වන්නටත් ඇති.

ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරකවරයා විදියට සවන ගුවන් විදුලිය සමග එක්වුවත් මගේ කටයුතු ප්‍රවෘත්ති අංශයට පමණක් සීමාවූයේ නැහැ. ජැක්සන් යටතේ සවනේ මා ගත කළ කාලය මගේ ජනමාධ්‍ය ජීවිතයේ සදානුස්මරණීය සුවිශේෂී කාල පරිඡ්චේදයක්. සවන සමඟ සම්බන්ධවන විට මා මුද්‍රිත මෙන්ම විද්‍යුත් ජනමාධ්‍යකරුවෙක් ලෙස වසර කිහිපයක අත්දැකීම් සහිතව සිටියත් , වාර්තාකරණයෙන් ඔබ්බට ගිය ජනමාධ්‍ය අත්දැකීමක්, දැනුමක්, පළපුරුද්දක් මගේ ජනමාධ්‍ය ජීවිතයට එක්වන්නට පටන් ගත්තේ සවනේ ගතකළ කාලය තුළ. මිතුරෙක් ලෙසත්, මගේ ප්‍රධානියා ලෙසත් ජැක්සන්ගෙන් ලැබුණු ගුරුහරුකම්, ඔහු අප සමඟ බෙදාගත් දැනුම සහ අත්දැකීම්, ජනමාධ්‍ය පරිපාලකයෙක් ලෙස ඔහුගේ ආදර්ශය සවනින් පසු මගේ ජනමාධ්‍ය ජීවිතය තුළ අදටත් පූර්වාදර්ශයන් ලෙස පවතිනවා.

ජැක්සන් සවන ගුවන් විදුලිය භාරගන්නා විට අද මෙන් හැටහුටාමාරක් ගුවන් විදුලි නාලිකා තිබුණේ නැහැ. තිබුණේ නාලිකා දෙක තුනක් වුවත්, ඒවා සම්බන්ධයෙන් සමාජය මත ඇතිකර තිබූ බලපෑම ඉතා විශාලයි. ඒ නිසාම පෞද්ගලික ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිව තිබූ ප්‍රතිරෝධයද ඉතා බරපතලයි. පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවල නිවේදකයන් ජනප්‍රිය සංස්කෘතිය තුළ තරු බවට පත්ව සිටි නමුත් විදග්ධ සමාජය ඔවුන් සැළකුවේ අවර ගණයේ කලාකරුවන් විදියට.

ජැක්සන් සවන ගුවන්විදුලියෙන් උත්සාහ කළේ ජනප්‍රිය සංස්කෘතිය සහ විදග්ධ සමාජය අතර පාලමක් තනන්නට. ඒ සඳහා ඔහුගේ උපදේශය වූයේ ගුවන්විදුලි සන්නිවේදකයා “දැන උගත් මිතුරෙක්” වියයුතු බවය. අද මෙන්ම එදත් පෞද්ගලික ගුවන් විදුලි නිවේදකයන්ට එල්ලවන ප්‍රධාන චෝදනාවක් වන්නේ, ඔවුන් හිස් වචන කියන වාචාලයන් බවය. මේ නිසා තමන්ගේ කණ්ඩායම දැනඋගත් පිරිසක් බවට පත්කරන්නට රාජකාරි සීමාව ඉක්මවා යමින්, තමන්ගේ පෞද්ගලික පොතපත පවා ගෙනැවිත් දෙමින් ඔහු ඉතා විශාල පරිශ්‍රමයක් දැරුවා.

ජැක්සන් කියන්නේ කිසිම විටෙක ජනප්‍රිය සංස්කෘතිය ප්‍රතික්ෂේප කළ අයෙක් නොවෙයි. එහෙත් ඔහු අන්ධානුකරණයෙන් ඊට වහල් වූ හෝ එය පිළිගත් අයෙකුත් නෙවෙයි. ඔහුගේ කලා භාවිතය පුරාම දක්නට තිබුණේ තමන්ගේ දැනුවත් ප්‍රකාශනය සඳහා ජනප්‍රිය සංස්කෘතිය වාහනයක් බවට පත්කර ගැනීම. සවන ගුවන්විදුලියේ දීත් එය එසේමයි.

ජැක්සන් මාරාන්තික අනතුරකට මුහුණ දී සිටියදීත් ඇතැමුන් ඔහුට සාපකළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ එම ආණ්ඩුව කළ කී සියලු දේට වගකිවයුත්තේ ජැක්සන් යැයි හැඟෙන පරිද්දෙන්. ඇතැමෙක් කියන ආකාරයට මහින්ද රාජපක්ෂ කඳවුරට සිය බලය තහවුරු කරගන්නට රට තුළ මතවාදීමය ස්ථාවරය සලසාදුන්නේ ජැක්සන් විසින්. එහෙත් ජැක්සන් ජාතිකවාදී ස්ථාවරයේ සිටියේ (සිංහල ජාතිකවාදී නොව ශ්‍රී ලාංකේය ජාතිකවාදී) මහින්ද රාජපක්ෂ ජනාධිපති නොව අගමැතිධූරයට පවා පත්වීමට පෙර. ඊට ඇති හොඳම උදාහරණය වන්නේ සවන ගුවන් විදුලියයි. සවනේ තේමා පාඨය වූයේ “උරුමය සොයා හෙට දවසේ” යන්නය. අනෙකුත් ආයතන අමෙරිකාවෙන් පැමිණි පෞද්ගලික ගුවන් විදුලි නාලිකා ආකෘතිය ගෙඩිය පිටින් අනුකරණය කරද්දී ජැක්සන් ඒ ආකෘතියට දේශීය ලක්ෂණ ඇතුළු කළා. සිංහල භාෂාවෙන් ඕනෑම දෙයක් ඉතා පැහැදිලිව, නිරවුල්ව, ව්‍යක්තව ප්‍රකාශ කළහැකි බව ජැක්සන් විශ්වාස කළා පමණක් නෙවෙයි, ඒ බව ඔප්පු කර පෙන්වලා දුන්නා. ඒ නිසා සවනේ නිවේදකයන් කිසිවෙක් ඉංග්‍රීසි මිශ්‍ර සිංහලෙන් කතාකළේ නැහැ. අනෙක් නාලිකා බොහෝවිට ඉංග්‍රීසි තනුවලට සිංහල වචන යොදමින් තමන්ගේ ජින්ගල් නිර්මාණය කරනකොට ජැක්සන් සවනේ ජින්ගල් නිර්මාණය කරන්නේ සීගිරි ගී ආශ්‍රයෙන්.

ජැක්සන් කිසිම විටෙක තමන්ගේ දක්ෂතාවන්, හැකියාවන් ගැන අධිතක්සේරුවක සිටි අයෙක් නෙවෙයි. ඒ නිසා සවන පෝෂණය කරන්නට ඔහු විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීනයන් තෝරාගෙන තිබුණා. ඩබ්.ජයසිරි, ආරියනන්ද දොඹගහවත්ත, නිහාල් පීරිස්, හරිත් ගුණවර්ධන, ඇන්තනී සුරේන්ද්‍ර, රවීන්ද්‍ර යසස් කුමානායක, බයිලා සැන්ටි ඒ අතරින් කිහිපදෙනෙක්. ජැක්සන් හැම විටම අලුත් පරම්පරාව විශ්වාස කළ, ඔවුන්ගේ දක්ෂතා අගය කළ, ඔවුන්ට ආදරය කළ කලාකරුවෙක්. ඒ නිසා ඔහුට අංකුර කලාකරුවන් නිවැරදිව හඳුනාගන්නත් හැකියාවක් තිබුණා. සවන ගුවන්විදුලියට යනකොට එහි සිටි ආසිරි, අන්ජානි, භාෂිණී වගේ පළපුරුදු නිවේදක නිවෙදිකාවන්ට අමතරව ඔහු නවකයන් කිහිපදෙනෙකුත් තෝරාගෙන තිබුණා. අද ජනප්‍රිය නිවේදකයෙක් වගේම ගීත රචකයෙක් වන වසන්ත දුක්ගන්නාරාළ, රූපවාහිනියේ නිෂ්පාදකවරයෙක් සහ නිවේදකයෙක් වන කමල් කාරියවසම්, අද රංගනය පිලිබඳ මහාචාර්යවරයෙක් වන සෞම්‍ය ලියනගේ, අන්තර්ජාතික සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාරද වගේ කණ්ඩායමකුත් ඊට සම්බන්ධ වුණා. මීට අමතරව නිෂ්පාදකයෙක් වශයෙන් හර්ෂ බුලත්සිංහල බඳවාගෙන තිබුණා. මේ නවක ,ප්‍රවීන සුසංයෝගය තුළින් නවකයන්ට පෝෂණයවීමට හොඳ අවස්ථාවක් වුණා වගේම, සවනින් රටට දෙන දේ වඩා රසවත් වගේම හරවත් කරන්නටත් හේතුවුණා.

සවනේ පෞද්ගලික වගේම පොදු අත්දැකීම් ලියන්නට තරම් මේ අවකාශය කුඩා වැඩියි. එය ශ්‍රී ලංකා ගුවන් විදුලි වංශකතාවේ වෙනම පරිච්ඡේදයක්. එහෙත් සවන ගුවන්විදුලිය මගින් ජැක්සන් කරන ලද අත්හදා බැලීම්, හඳුන්වාදුන් නව වැඩසටහන් ගැන කෙටියෙන් හෝ මේ සටහනට එක් නොකළොත් එය විශාල අඩුවක්. ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් ,සංස්කාරකවරයෙක් හැටියට තිරය පිටුපස සිටි මා වැඩසටහන් ඉදිරිපත්කරනෙක්, සම්මුඛ සාකාච්ඡා ඉදිරිපත්කරන්නෙක් බවට පත්කෙරුණේ සවන ගුවන් විදුලියේ දී. මැතිවරණයක සජීවී තත්ත්ව විස්තර පළමුවරට ගුවන් විදුලියකින් ඉදිරපත් කළේ සවන ගුවන් විදුලියෙන්. කුප්‍රකට වයඹ පළාත් සභා මැතිවරණය දා මමත් ,අපේ ප්‍රධාන ප්‍රවුර්ත්ති නිවේදකයා වූ නිලන්ත රාජෙන්ද්‍රත් කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික්කවලට ගොස් ඒ විස්තර ඉදිරිපත් කළා. පුවත්පත්වල ජනප්‍රිය අංගයක් වන දේශපාලන තොරතුරු පළමුවරට ගුවන් විදුලියකින් ඉදිරිපත් කිරීම ආරම්භ කළෙත් සවන ගුවන්විදුලිය. එහි පිටපත මවිසින් සකස් කළ අතර, වැඩසටහන ඉදිරිපත් කළේ ආරියරත්න දොඹගහවත්ත සහ නිලන්ත රාජේන්ද්‍ර.

පෞද්ගලික ගුවන් විදුලි නාලිකා විසින් අවරගණයේ හෝ ග්‍රාම්‍ය කලාංගයන් ලෙස සැළකුණු වාද බයිලා සහ විරිදු මගින් තත්කාලීන සමාජ දේශපාලන මාතෘකා ගැන අසන්නා දැනුවත් කරන්නට භාවිත කරනු ලැබුවේත් සවන ගුවන් විදුලියයි. තියුණු උපහාසාත්මක තීරු ලිපි රචකයෙක් වන හරිත් ගුණවර්ධන විසින් රචනා කරන ලද විරිදු රැගත් වැඩසටහන ‘අන්දමන්ද විරිදු” නම් විය. විරිදු ගායන රවීන්ද්‍ර යසස් කුමානායක. වාද බයිලා ආකෘතිය රැගත් ‘පොලිටික් බයිලා’ වැඩසටහනට බයිලා රචනා කරනු ලැබුවේ ජනප්‍රිය බයිලා ගායකයෙක් වන බයිලා සැන්ටි විසින්. සවන විසින් හඳුන්වාදුන් මේ ඇතැම් වැඩසටහන් ආකෘති පසු කාලීනව වෙනත් නාලිකාවන්ද අනුකරණය කළා. ගුවන් විදුලි නාලිකා ප්‍රවර්ධන සඳහා එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සාමාන්‍ය කාරණයක් වුවත්, සවනේ ආරම්භය සටහන් කරමින් මාතර පැවති සංගීත සංදර්ශනය මුළුමනින්ම දේශීය ඌරුව ගත්, වෙනස් පන්නයේ සංගීත සංදර්ශනයක්. පළමුවරට බෞද්ධ පෙරහරක් පැවැත්වූයේත් සවන් ගුවන් විදුලියෙන්. ඒ මිහින්තලේ පෙරහැර. පළමු වරට ළමා වැඩසටහන් ළමුන් විසින් ඉදිරිපත්කරන්නට පටන් ගත්තෙත් සවනින්. ඒ වනවිට ආනන්ද විද්‍යාලයේ සිසුවෙක්ව සිටි ප්‍රේමකීර්ති ද අලවිස්ගේ පුතු පූර්ණ ගුවන් විදුලි නිවේදකයෙක් බවට පත්වුණේ ඒ වැඩසටහනින්.

ජැක්සන් සවන ගොඩනැගුවේ තාත්ත කෙනෙක් දරුවෙක් ඇතිදැඩි කරනවා වගේ ආදරයෙන්, පරිස්සමින් සහ ඉවසීමෙන්. ඒත් සියල්ල මුදල මත තීරණය වෙන සමාජයක සවන රැකගන්නට නොහැකිවෙනවා. ඉංග්‍රීසි, දෙමළ ජනමාධ්‍ය නාලිකාවන් සමග සවන අයත්ව තිබූ කොලම්බු කොමියුනිකෂන් ආයතනය පිටින් EAP සමාගමට විකුණාදැමීමෙන් පසු සියල්ල උඩු යටිකුරු වී ගියා. ඊට හේතු කාරණා විස්තර කරන්නට, විභාග කරන්නට මෙය අවස්තාව නොවන නිසා, ඒ ගැන දීර්ඝ ලෙස ලියන්නට මා අදහස කරන්නේ නැහැ. එහෙත් එදා සවන ගුවන්විදුලිය මගින් ජැක්සන් හඳුන්වාදුන් ගුවන් විදුලි ආකෘතිය පසු කාලීනව ඉල්ලුමක් සහිත ගුවන් විදුලි ආකෘතියක් බවට පත් වූ බව කිවයුතුයි. මා සිංහ FM නාලිකාවේ ප්‍රධානියා ලෙස ගුරු කොට ගත්තේද ජැක්සන් හඳුන්වාදුන් ආකෘතිය බව සටහන් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්. අදත් ඇතැම් නාලිකාවන් එම ආකෘතිය භාවිත කරමින් සිටින බව අපට ඇසෙනවා. අප ඒ ගැන සතුටු වන්නේ ජැක්සන්ගේ උත්සාහය අපතේ ගොස් නැති බව එයින් පැහැදිලි වන නිසා.

ජැක්සන් අනතුරට ලක්වීමෙන් පසු දීර්ඝ කාලයක් ඔහුව ජාතික රෝහලේ තබාගැනීම ගැන පසුගිය කාලයේ දැඩි දෝෂාරෝපණ එල්ල වුණා. ඔහුගේ මරණය ප්‍රර්ථනා කළ ඇතැමෙක් ජැක්සන් මියගිය පසුත් ඒ අමානුෂික තත්වයෙන් නිදහස් වෙලා නැහැ. එහෙත් ජැක්සන්ගේ මිතුරෙක් හෝ ඔහුගෙන් ගුරුහරුකම් ලබාගත් ජනමාධ්‍යකරුවෙක් ලෙස හෝ මා කිසිම විටෙක් එවැනියන් සමග තර්ක කරන්නට ගියේ නැහැ. ඒ කොයි මොහොතක හෝ ජැක්සන් යළි අප අතරට පැමිණෙනු ඇතැයි මගේ ප්‍රාර්ථනාවද, විශ්වාසයද වූ නිසා. දැන් ජැක්සන් යළි අප අතරට ජීවමානව නොඑන බව තහවුරු වී අවසන්. ඒ නිසා අවසන් වශයෙන් ඒ ගැනත් යමක් කියන්නට කැමතියි.

අප ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නම් ඕනෑම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තමන් නිවැරදි යැයි සිතන දේශපාලන මතයක් දැරීමට සහ ඒ බව ප්‍රකාශ කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට නිදහස සහ අයිතිය තිබිය යුතුයි. අප කාටත් තිබෙන ඒ අයිතිය කලාකරුවන්ට ද තිබෙනවා. කිසිවෙක් තමන්ට පිළිගත් නොහැකි දේශපාලන මතයක් ප්‍රකාශ කරන්නේ නම්, කළයුත්තේ ඔහුට හෝ ඇයට මරණය ප්‍රාර්ථනා කිරීම නොව මතවාදීමය වශයෙන් එම මතය පරාජය කිරීමය. ජැක්සන්ගේ මතය ගෝත්‍රික යයි කියමින් ඊට එරෙහිව ඔහුට මරණය ප්‍රාර්ථනා කිරීමත් ගෝත්‍රික පමණක් නොව ම්ලේච්ඡ, අමානුෂික ක්‍රියාවක්. ආර්.ප්‍රේමදාස කියන්නේ අපේ රටේ හිටපු ඉතාමත් දරුණු පාලකයෙක්. ජනප්‍රිය ගායක එච්.ආර්.ජෝතිපාල ප්‍රේමදාස ජනාධිපතිවරයාව හඳුන්වන්නේ ‘මගේ රජ්ජුරුවෝ’ කියල. ඒත් කවුරුත් ජෝතිව මරන් කන්න හැදුවේ නැහැ. ඔහු අදටත් පොදුජන සමාජයේ හදවතේ ගායකයා.

ඉන්දියාවේ මහා සිනමාකරු සත්‍යජිත් රායිගේ ජීවිතේ අවසාන කාලයේ ඔහු ජීවත් වුණු කල්කටාවේ මහල් නිවාසයට විදුලි සෝපානයක් සවිකරන්න ආණ්ඩුව පියවර අරන් තිබුණා. ඒ වගේම දවසේ පැය 24ම ගිලන් රථයක් මහල් නිවාසය අසල සූදානමින් තබා තිබුණා. ආණ්ඩුව සත්‍යජිත් රායි වෙනුවෙන් ලබාදුන් මේ විශේෂ පහසුකම් කිසිවක් කල්කටාවේ සාමාන්‍ය වැසියන් කිසිවෙක්ට නොලැබුණු බවට සැකයක් නැහැ. රායිට ඒ විශේෂ සැළකිල්ල ලැබුණේ ඔහු රායි වීම නිසා.
ජැක්සන් ඔබ නැති අඩුව අපට හැමදාම දැනෙයි. ඔබ පිළිබඳ මතකය හැමදාම අපේ හිත්වල තියෙයි. ඒ මතකෙන් අපේ හිත් රිදෙයි.

කුලශ්‍රී කාරියවසම්

උපුටා ගැනීම: Ceylonwire.lk





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: