hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 28, ප.ව. 8:36



රටක පරිසරය ආරක්ෂා කිරීමේදී , එම රට මුහුදු සීමාවේ පිහිටියේ නම් සමුද්‍ර පරිසර ආරක්ෂණය පිළිබඳව ද දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යවේ.

මක් නිසාද යත් සමුද්‍රීයේ සිදුවන කුමන හෝ පරිසර විනාශයක් එම මුහුදු සීමාවට, වෙරළට මෙන්ම රටේ ජනතාවට ද නොයෙක් ආකාරයෙන් බලපෑ හැකිවන අතර එම බලපෑම ද දීර්ඝකාලීනව අහිතකර ප්‍රථිපල ගෙන දිය හැක.  එමනිසා රජය මෙන්ම සියලු වගකිවයුතු ආයතන මේ සම්බන්ධව ඉතා සංවේදීව කටයුතු කිරීමට වගබලා ගත යුතුය.

පසුගිය වකවානුව තුළ ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයට දැඩි බලපෑමක් ඇති කරමින් නැව් කීපයක්ම අනතුරට ලක්විය.මේවායෙන් සිදුවූ විනාශය තවත් වසර ගණනාවක් යන තෙක් මෙරටට අහිතකර ප්‍රතිඵල ගෙගෙනෙන බව විශේෂඥයන් පවසා සිටී. මෙවන් වටපිටාවක් තුළ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූ කරුණු මාධ්‍ය මගින් හෙළිදරව් කරන්නේ මේ පිළිබඳව ජනතාවගේ අවධානය යොමු විය යුතු බැවිනි .

2022 විගණන වාර්තාවට අනුව 2018 මාර්තු 30 දින වැඩ නිමකර අධිකාරිය වෙත භාර දී තිබූ පිරිවැය රුපියල් 66,661,502 ක් වූ ගාල්ල ප්‍රාදේශීය කාර්යාල ගොඩනැගිල්ල සදහා 2018 වර්ෂයට අදාල ක්ෂය වටිනාකම රුපියල් 2,504,360 ක් වුවද එය රුපියල් 967,961 ලෙස ගණනය කර තිබීමෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ගොඩනැගිලි ශුද්ධ අගය රුපියල් 1,536,399 ක් වැඩිපුර ගෙවා තිතිබුණි .

තවද MV – X – Press Perl නෞකා අනතුරට අදාල රාජකාරී ඉටු කිරීම වෙනුවෙන් අධිකාරියේ නිලධාරීන්ට අමතර දීමනාවක් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොතිබියදීත් 2022 වර්ෂය සඳහා ඉල්ලුම් කළ මුදල වන රුපියල්  35,995,971 ක් වියදම් හා ගෙවිය යුතු දෑ වශයෙන් ගිණුම්ගත කිරීම හේතුවෙන් එම වටිනාකමින් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වල ගෙවිය යුතු දෑ වැඩියෙන්ද අතිරික්තය අඩුවෙන්ද දක්වා තිබුණි.

අධිකාරියේ වෙබ් අඩවිය සංවර්ධනය කිරීම සඳහා 2021 වර්ෂයේ රුපියල් 225,000 ක්  වෙන් කරන ලදී.එය වෙන් කළේ චෙක් පතකිනි.එහෙත් 2022 වර්ෂයේදී එම චෙක්පත අවලංගු කෙරිණිචෙක් පතක් යනු වගකීමකි. එහෙත් අදාළ චෙක්පත ගිණුම්ගත කිරීමේදී එය කෙරීගෙන යන වැඩ නමින් වූ ගිණුමකට බැර කරමින් හිමිකම් යටතේ දක්වා තිබේ.එම චෙක් පතේ වටිනාකම ඇතුළුව මෙම වෙබ් අඩවිය සඳහා වෙන් කරන ලද මුදල රුපියල් 405,250 .මෙතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කරන ලද්දේ එය භාවිත තත්ත්වයේ නොතිබූ බැවිනි.ඒ අනුව මෙය කෙරීගෙන යන වැඩ ගිණුමට අයත් විය යුතුය .එහෙත් අධිකාරිය  අස්පෘෂ්‍ය වත්කමක් ලෙසිනි.

ඩම්පින් බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුහුණු විශ්වවිද්‍යාලය විසින් Dumping Permit  Management System  අධිකාරිය මගින් ඒ වෙනුවෙන් රුපියල් 1,400,000ක් ද එම වියදම ගෙවිය යුතු වියදමක් ලෙස ගිණුම්ගත කිරීමට අධිකාරියට අතපසු වී තිබේ. ඒ නිසා  අස්පෘශ්‍ය වත්කම් හා ගෙවිය  යුතු වියදම් අඩුවෙන් දක්වා තිබෙනු දැකිය හැකි විය.

අධිකාරිය ආරක්ෂාව වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමඟ ගිවිසුමකට එළැඹ තිබිණි.ගිවිසුම ප්‍රකාරව ප්‍රධාන කාර්යාලයේ ආරක්‍ෂාව සැපයීමට දිවා කාලයට හා රාත්‍රී කාලයට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු යෙදවිය ට නිලධාරීන් දෙදෙනෙකු සඳහා 2022 පෙබරවාරි 1 දින සිට 2022 දෙසැම්බර් 31 දක්වා රුපියල්  716,045ක මුදලක් ගෙවා තිබුණි. එහෙත් එහි සේවයට යොදවා තිබුණේ එක් නිලධාරියෙකු  පමණි. ඔහු පැය 24 පුරා එක දිගට දින ගණනාවක් සඳහා සේවයේ යොදවා තිබුණි. මෙම ආයතනය ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි කර පවා නැත. අවම වශයෙන් ගනුදෙනුකරුවන් පිළිබඳ තොරතුරු පවා ලබා නොගෙන මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා තිබේ.

2022 වර්ෂයේ ආහාරපාන ලබා ගැනීම සම්බන්ධයෙන් එකතු කළ වටිනාකම් වව්චර අටක වෙනස් කිරීම් කර ඇති බව පැහැදිලි ලෙස දැකිය හැකිය.එම වෙනස් කිරීම් සම්බන්ධව සහතික කරන නිලධාරියාගේ අත්සන පවා යොදා නැත.

2011 අනතුරට පත් වූ නැවකින් වන්දියක් ලෙස රුපියල් මිලියන දහයක් ලැබී තිබුණි.එය සමුද්‍ර පරිසර ආරක්ෂණ අරමුදල නමින් ගිණුමකට බැර කර භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරමින් තිබුණි. ඒ සඳහා පොලී එකතුවීමෙන් 2022 වර්ෂය අවසානයට එහි ශේෂය රුපියල් 19,486,831ක් වී තිබේ.. ඒ අනුව එම අරමුදල  වසර දොළහක් තිස්සේ නිෂ්කාර්යව පවතී.

2017 වර්ෂයේ සිට 2019 දක්වා වරායන් තුළ සේවා නියුක්ත කර ඇති නිලධාරීන්ට අපද්‍රව්‍ය සේවා ප්‍රතිග්‍රාහක පහසුකම් සඳහා මුදල් ගෙවා ඇත්තේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය පවා ලබා නොගෙනය.දිනකට රුපියල් 750 බැගින් රුපියල් 1,951,550 ක දීමනාවක් මෙසේ ලබා දී තිබේ. මේ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස 2021 දෙසැම්බර් 28 දිනැති විගණන හා කළමනාකරණ කමිටුව මගින් නිර්දේශයක් ලබාදී තිබේ. එහෙත් එම නිර්දේශය ක්‍රියාත්මක කර වගකිවයුතු පුද්ගලයන්ගෙන් අය කර ගැනීමට අධිකාරිය විසින් කටයුතු කර නැත.

පොලිසැක් මලු 20000 මිලදී ගැනීම සඳහා 2022 පෙබරවාරි 07 දින  ප්‍රසම්පාදන කමිටු අනුමැතිය හිමිවී තිබුණි. එසේ අනුමැතිය හිමිව තිබියදී මලු 10,000ක් පමණක් 2022 පෙබරවාරි 23 දින ලබාගෙන රුපියල් 3,75,000 ක් සැපයුම්කරුවෙත ගෙවා තිබේ. නැවත 2022 මාර්තු 09 දින ඉතිරි මලු 10,000 ලබා ගැනීම සඳහා ඇනවුමක් නිකුත් කර තිබේ.  ඒ අනුව  2022 ජූනි 28 දින  නැවත මිල ගණන් කැඳවා මලු  10,000ක් රුපියල් 1,000,000 ක මුදලකට මිලට ගෙන තිබේ. මලු 20000 අවශ්‍යතාවය තිබියදී හා එම ප්‍රමාණයම මිලට ගැනීමට අනුමැතිය ලබා දී තිබියදී මලු 10000 පමණක් ඇනවුම් කිරීම හා ඉතිරිය පසුව නැවත ඇනවුම්  කිරීම හේතුවෙන් අධිකාරියට රුපියල් 6,25,000ක පාඩුවක් සිදුව තිබේ.

මෙසේ නිකරුනේ නාස්ති කරනු ලබන්නේ හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික ධනය නොව සමස්ත රට වැසියාගේම  මුදල් බව බොහෝ ආයතන දන්නේ නැත. මෙබඳු නාස්තිකාර වියදම් පියවීම සඳහා ඔවුන් ද රුපියලකින් හෝ දායක විය යුතු බව ඔවුන්ට කල්පනාවන්නේ නැත.ලංකාව අද පත්ව ඇති  සෝචනීය ඉරණම එවැනි අවිචාරාත්මක ක්‍රියා පටිපාටින්ගේ ප්‍රතිඵලයකි.