hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 04, ප.ව. 8:09



ශ්‍රී ලංකාව ජන්ම බිම කරගත් අප කෙතරම්ම භාග්‍ය සම්පන්න ද? මේ පැනය විමසන විට අද ඔබ මට උපහාසයට සිනාසෙන බව මම දනිමි. පොතක් පුරවන්නට තරම් ගැටළු, ප්‍රශ්න ගොඩගැසී ඇති බව ඇත්තය. එහෙත් ඒ සියල්ල මිනිසා විසින් නිර්මාණය කළ දේය. ප්‍රශ්න වලින් මිරිකී හෙම්බත්ව සිටින අප පියවි ස්වරූපයෙන් ඈත් වී ඇත. ගහක කොළක සිසිලස විඳින්නට, කුරුළු ගීයක රසය විඳින්නට, ගලා හැලෙන දිය දහරක රිද්මය දකින්නට අපට ඉස්පාසුවක් නැත. මොහොතකට මේ සියලු ගැටළු අමතක කොට පරිසරය හා දැහැන් ගත වන්නට මම ඔබට ආරාධනා කරමි.

අප දිනූ දේශයේ සෞන්දර්ය ඔබට දැනේද? බැලූ බැලූ අත හරිත පැහැයෙන් දිදුලන මේ අසිරිමත් පරිසරය ඔබට ආශ්වාදයක් නොගෙනේද? හාත්පස නැගී සුවඳ පතුරන මල් ගොමු, කිචි බිචි හඬින් දොඩමළු වෛවර්ණ කුරුලු රංචු, දාහය නිවාලන රිදී වන් දියදහරා, රට රකින පවුරක් බඳු විසල් සමුදුර සම ශීතෝෂ්ණ දේශගුණය…. මේ අපේ සොඳුරු මව්බිමයි…මේ මා උපන් රටයි.. මේ මගෙ බස කතා කරන මා දන්නා හඳුනන මගේ වර්ගයායි. ලොව කිසිදු රටක මගෙ රටේ මා විඳින නිදහස හා මානසික සහනය මට ලැබිය හැකි ද? ඉදින්.. මම ඔබට කියමි.. ලොව කුමන අස්සක මුල්ලක සිටියද හෙට අපේ සිරුරු පොහොර විය යුත්තේ මේ බිමටය. එහෙත් රට වෙනුවෙන් අපේ යුතුකම එපමණක්ද?.. නැත….අප නැගිටිය යුතුය හැකිනම් තවකෙකු ඇදගෙනම නැගිටිය යුතුය. ලංකාවට යළිත් රැල්ලක් අවශ්‍ය වී තිබේ. ඒ රටම එකට යන රැල්ලකි. හිස් සෑම අඟලක්ම වගා කළ යුතුය. පොදු ස්ථාන ආරක්ෂා කළ යුතුය. හැකි සෑම දෙයම රටේ නිපදවිය යුතුය. අනෙකාට උදව් කළ යුතුය. බිඳවැටුණු සෑම අංශයක්ම නැවත ගොඩනැගිය යුතුය.

ලංකාවේ  ආයෝජනයක් නොමැතිව ගොඩනැගිය හැකි කර්මාන්ත ඇත්තේ කීපයකි. ඉන් එකකි සංචාරක කර්මාන්තය. ඊට අවශ්‍ය මූලික පහසුකම් දැනටමත් අප සතුය. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් සංචාරක කර්මාන්තය විසින් සපුරාලයි. සාමාන්‍යයෙන් එය වාර්ෂිකව ඩොලර් බිලියන 4.5 කි. 2018 වර්ෂයේ දී එය බිලියන හය ඉක්මවා ගියේය.

දිගින් දිගටම ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුද හමුවේ සංචාරක කර්මාන්තය වළපල්ලට යමින් පවතියි. පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය හා දැනට පවතින ආර්ථික – දේශපාලනික අස්ථාවරභාවය හා අර්බුදකාරී වාතාවරණය මත සංචාරකයන්ගේ පැමිණීම ඉතා අඩු ප්‍රතිශතයක් ගෙන තිබේ. එහෙයින් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව යැපෙන්නන් බොහොමයකගේ ජීවිත බිඳ වැටී ඇත.

උපන් රට ගැන හා තම ක්ෂේත්‍රය පිළිබඳ කැක්කුමක් ඇති මිනිසුන් අපට මුණ ගැසෙන්නේ කලාතුරකිනි. සංචාරක කර්මාන්තය පිළිබඳ කළ විමසුමේදී එවන් අපූර්ව පුද්ගලයෙකු මට මුණ ගැසිණි. ඔහු නමින් හෂාන් ෆොන්සේකාය. තනතුරින් ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ ගරු සභාපතිවරයාය. එතුමන්ගේ අදහස් බොහොමයක් මෙහි සනිටුහන් වන්නේ සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම පිළිබඳ සැබෑ හැඟීමක් එතුමා තුළ මා දුටු බැවිනි.

ශ්‍රී ලංකාවේ පැවති යුධමය වාතාවරණයත් සමග සංචාරක කර්මාන්තය පැවතියේ රටේ දකුණ හා සම්බන්ධවය. මෙම ප්‍රදේශයේ විශේෂයෙන් වාද්දුව හා තංගල්ල අතර කලාපයේ මැයි සිට ඔක්තෝබර් දක්වා මුහුද රළු ය. ඒ අනුව මුහුද රළු නොවන නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය ලංකාවේ සංචාරක සමය ලෙස ප්‍රසිද්ධ විය. එම කාලය තුළ සංචාරකයන්ගේ පැමිණීම 100,000 සිට 200,000 දක්වා වුවත් මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ එය විශාල වශයෙන් අඩු වෙයි. යුද්ධය අවසන් වී වසර ගණනක් ඉක්ම ගිය ගියද ලංකාවේ සංචාරක සමය තවමත් එලෙසමය ලංකාවේ පිහිටීම අනුව දකුණු මුහුද රළු වන විට උතුරු මුහුද සෞම්‍ය වේ. අවාරයක් නොමැති සංචාරක ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මේ කරුණ ම ප්‍රමාණවත් නොවේද?  

ශ්‍රී ලංකාවට පැමිණෙන ව්‍යාපාරිකයින්ගෙන් 50% කට වඩා නැවත නැවත ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පුද්ගලයන් ය.එහෙත් මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ලංකාවේ සංචාරක ව්‍යාපාරය සැලසුම් වී නොමැත. ලංකාවේ සංචාරක ගමන් මාර්ග (traveling route)  සාම්ප්‍රදායික ඒවාය. එකම මාර්ගයක, එකම තැන් කිහිපයක් හරහා, එකම ගමනාන්තයට ගමන් කිරීමට සංචාරකයන් නැවත නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. ඔවුන්ට නව දර්ශන පථ අවශ්‍යය. මන්ද ඔවුන් මුදල් වියදම් කොට මෙහි පැමිනෙන්නේ විවිවිධත්වය අත් විදීමටය. මේ නිසා නැවත නැවත මෙහි පැමිණෙන සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට නව සංචාරක ගමන් මාර්ග (travelling route) හඳුන්වා දිය යුතු වේ. 

එසේම නව සංචාරක ආකර්ෂණ ස්ථාන හඳුන්වාදීම හා ඒ පිළිබඳ ලොව පුරා පුළුල් ප්‍රචාරණයක් ලබා දීම කළ යුතු වේ.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා බැඳුණු තවත් ගැටළුවක් වනුයේ දැනුමින් අඩු පුද්ගලයින් හා (foreign tourists leaders) සංචාරක මග පෙන්වන්නන් ලෙස කටයුතු කිරීමයි. පුහුණු බලපත්‍ර සහිත මාර්ගෝපදේශකයන් ලබාදෙන සංචාරක මාර්ගෝපදේශනය අන්‍යයන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. අන්තර්ජාලය මගින් ලොවම කුඩා තිරයකට පැමිණ ඇති වකවානුවක අදාළ ස්ථාන පිළිබඳ සත්‍ය තොරතුරු ලබා දීම සංචාරක විශ්වාසය දිනා ගැනීමට ඉවහල් වෙයි.

අනෙක් අතට ලංකාව පිළිබඳ අසත්‍ය තොරතුරු විදේශයන්හි සමාජගතවීම සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමට ප්‍රබල හේතුවකි. ඇතැම් විදේශ මාධ්‍ය තුළින් ලංකාවට හයිටියටත් වඩා පහළ මට්ටමක ප්‍රතිරූපයක් ලබාදී තිබේ. මීට විසඳුමක් වශයෙන් සංචාරක අමාත්‍යාංශය විදේශ අමාත්‍යාංශය හරහා තානාපති කාර්යාල හරහා ලංකාවේ සත්‍ය වත්මන් තත්ත්වය පිළිබඳව විදේශිකයින් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මෙන් සංචාරක කර්මාන්තයෙන් සංචාරක නියෝජිතයින් (tourist agent) පත් කිරීම බොහෝ ප්‍රතිඵල දායක විය හැක. එම ඒජන්තවරුන්ගේ ශ්‍රී ලංකාව පිළිබඳ දැනුවත් භාවය මෙන්ම අදාල රටෙහි භාෂාව පිළිබඳ  හැකියාව ද විපුල ඵල ළඟා කර දෙනු නොඅනුමානය. උදාහරණයක් ලෙස උදයංග වීරතුංග මහතාගේ රුසියන් භාෂා දැනුම නිසා ඒ මහතාට රුසියානු සංචාරකයින් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගත හැකි විය. 

ශ්‍රී ලංකාවේ අතිශය සොඳුරු දර්ශන තල විදේශිකයන්ට දැකීමට සැලැස්වීමෙන් ද සංචාරක ආකර්ෂණය ඉහළ නැංවිය හැකි වේ. බස්රථ දුම්රිය ආදියේ ලංකාවේ සුන්දරත්වය සහිත දර්ශන සිතුවම් කිරීමෙන් කොරෝනා වසංගතයෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටෙන තෙක්ම චීන සංචාරකයෝ බොහෝ සෙයින් ලංකාවට ඇදී ආහ. 

ගුවන්තොටුපල පිහිටුවන මාධ්‍ය ඒකකයක් මගින් කටුනායක ගුවන් තොටුපළින් මව් රට බලා පිටව යන විදේශීය    සංචාරකයින්ගෙන් ලංකාවේ අර්බුදකාරී තත්වය තම සංචාරයට කිසිදු අහිතකර බලපෑමක් නොකළ බව පැවසෙන පණිවුඩයක් ලබා ගත හැක. එය ඔවුන්ගේ රටවල මාධ්‍ය ජාලාවලට නිකුත් කළ හැකි නම් එය, එම රටව වල සංචාරකයින් ලංකාවට     පැමිණීමට උත්තේජනයක් සපයනු ඇත. 

ඩොලර් 35කට ලබා දෙන ලංකාවට ඇතුළුවීමට ලබා දෙන අවසරය (visa )ලංකාව තුළ ඩොලර් 500ක් වියදම් කිරීමට රුපියල් වලට මාරු කරන සංචාරකයාට නොමිලේ ලබා දිය හැක. ඒ සඳහා ලංකාවේ රුපියල් වලින් පමණක් ගනුදෙනු කිරීම අනිවාර්යය කළ යුතුය. එසේම එසේ කළ යුතුය. එසේම එසේ නොමිලේ වීසා ලබා ගන්නා සංචාරකයා වියදම් නොකර ඉතිරි කරගන්නා රුපියල් නැවත ඩොලර් වලට මාරු නොකළ යුතුය. මෙය අපහසු කටයුත්තක් නොවන්නේ විදේශිකයා රියදුරන් හෝ මාර්ගෝපදේශකයන් මුණගැසීමට පෙර මුදල් මාරු කිරීමේ කවුළු (money changing counter ) පසු කර එන බැවිනි.

සංචාරක සේවා සපයන්නන් ගෙන් වැඩි ප්‍රමාණයක් සිටිනුයේ ගම්පහ දිස්ත්‍රික්කයේය එහි ප්‍රධාන සංචාරක පුරවරය මීගමුවයි.  එහෙත් මීගමුව සංචාරකයන් විසින් භාවිතා කරනුයේ සංචාරකයන් ආරම්භයේ දී අවසානයේ දී විඩා නිවා ගැනීමේ කෙටිකාලීන නවාතැනක් ලෙස පමණි එසේ වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත ව පවතින්නේ මුහුදු වෙරළ , කරවල වේලීමේ ස්ථාන, කැලණි විහාරය ආදී සාම්ප්‍රදායික සංචාරක ස්ථාන කිහිපයක් පමණක් වන බැවිනි. එහෙත් ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව  අත්තනගල්ල, වාරණ, අළුතැපොල ආදී මනස්කාන්ත විහාර රාශියක් තිබේ. පෙතියාගොඩ භාවනා මධ්‍යස්ථානය, ගුරුගේ උද්‍යානය, උස්වැටකෙයියාව මුහුදු වෙරළ, බියගම කුරුලු උයන වැඩිදියුණු කර සංචාරක ආකර්ෂණය දිනාගැනීමට සකස් කළ හැකිය.එවිට මීගමුව සංචාරකයන් දින කිහිපයක් නවාතැන් ගන්නා ප්‍රදේශයක් බවට පත් කළ හැක.

හෂාන් ෆොන්සේකා මහතා තවත් ඉතා වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි. ඒ agro tourism පදනම් කරගත් ගොවිපලක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමයි විදේශිකයින්ට සතියක් පමණ නවාතැන් ගෙන ගොවිතැනෙහි යෙදී සරල බව, නිස්කලංක බව අත්විඳිය හැකි තැනක් නිර්මාණය වුවහොත් ඔවුන් ඒ කෙරෙහි ආකර්ෂණය වීම අනිවාර්ය බව ඒ මහතා පවසයි.

ඉතින් යුතුකම් වෙනුවෙන් පෙළ ගැසිය යුතු කාලය එළඹ තිබේ. එකට එක් පවුරක් ලෙස නැගී සිටිමු ද? නැතහොත් එකිනෙකා බෙදී ගහමරා ගනිමින් නැසී යමුද?  

ගම්පහ – චම්පිකා මුතුකුඩ