hit counter

2024 ජූනි මස 15 වන සෙනසුරාදා

2023 ජූලි 18, පෙ.ව. 4:37



ශ්‍රී ලංකාවේ ජල සම්පත සොබාදම් මෑණියන් විසින් අපට ලබා දුන් මහඟු දායාදයකි. රට වටා පවුරක් සේ නැගී සිටින ඉන්දියානු මහා සාගරයත්, රට මැද ගණනින්  103ක් වූ ගංගාවනුත්, 27,000ක් වූ වෙනත් ජලාශයනුත් ස්වයංපෝෂිත ආර්ථිකයකට අප ලද ආශිර්වාදයන් වේ. එසේම පරිසර සුන්දරත්වය ඔප් නංවමින් ධරණී තලය මත පාරාදීසයක සිරි මැවීමටත් මෙම සොබා සම්පත් උපකාරී වේ.

කිතුල්ගල, බෝපත් ඇල්ල, එගොඩ කැලණිය ආදී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා සබැඳි බොහෝ සොඳුරු දසුන් මවනා කැළණි ගඟ  අපේ රටේ ප්‍රධානතම ගංගා අතරින් එකකි. සමනල කඳු මුදුනින් උපදින මෙම ගංගාව කිලෝ මීටර් 145 ක් දුර ගෙවා කොළඹ මට්ටක්කුලිය පිහිටි කදිරාන පාලම යටින් ගොස් සයුරු හිමි වැළඳ ගනී. ලංකාවේ පළලින් වැඩිම ගංගාව වන කැලණි නදිය  ඉන්දියානු මහා සාගරයට එක්වන ස්ථානයට  ආසන්නයේදී පළල මීටර් 120 ඉක්මවයි. මෝය අසල දී එහි ඉවුරු දෙක කොළඹ දිස්ත්‍රික්කය හා ගම්පහ දිස්ත්‍රික්කයේ සීමා  සලකුණු කරයි.

ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් හතරවන ස්ථානය ගන්නේ කැලණි ගඟයි. හෝටන්තැන්නෙන් උපත ලබන කෙසෙල්ගමු ඔය ද, ගවරවිල කඳුවැටිය හා සමනල කන්දේ දිය දහරාවන් වලින් බිහිවන මස්කෙළිය ඔය ද  පොල් පිටියේදී එකතු වීමෙන් කැලණි නදිය නිර්මාණය වේ. කෙසෙල්ගමු ඔය ආශ්‍රිතව කාසල්රි, නෝර්ටන් ජල විදුලි බලාගාරද,  මස්කෙළි ඔය ආශ්‍රිතව කැනියොන් ,ලක්ෂපාන ජල විදුලි බලාගාරද ඉදිවී ඇත.  

නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කොළඹ දිස්ත්‍රික්කවලට සුන්දරත්වයක් එක් කරමින් කල්‍යාණි නදිය මුහුදට ගලා බසී. ඒ ගමනේදී පහළ අතු ගංගා ලෙස යටියන්තොට වී ඔය, රුවන්වැල්ල ගුරුගොඩ ඔය හා අවිස්සාවේල්ල සීතාවක ගඟ කැළණි ගඟට එක් වේ.

සීතාවක ගඟ උඩ මාලිබොඩ සමනල අඩවියේ කඳු වලින් ඇරඹේ. උඩමාලිබොඩ පිහිටියේ දැරණියගල සිට කිලෝ මීටර් විස්සක් පමණ ඈතිනි. උඩමාලිබොඩ එපිටින් ඇති දික්ඇල්ල කන්දෙන් පැන නගින ජල උල්පත් වලින්  උපත ලබන මෙම ගංගාව කැලණි ගගේ පහළ අතු ගංගා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නා ගංගාවයි. සබරගමු ප්‍රදේශයේ පවතින කඳු සහිත  භූ පිහිටුම නිසාම ඉතා මනස්කාන්ත දසුන් රැසක් මවමින් නදිය ගලා යයි. දැරණියගල ආශ්‍රිත ප්‍රදේශවලදී මෙම ගංගාව මාගල් ගඟ ලෙසින්ද හැඳින්වේ . අවිස්සාවේල්ලට කිලෝමීටර් තුනක් පමණ උතුරින් පිහිටි කුඩා ගම දී කැලණි ගඟට එක්වන සීතාවක ගඟ පරිවාර ගංගා රැසකට උරුමකම් කියයි.යායෙ ගඟ, හලතුරේ ගඟ, කදිරන් ඔය, පනාකුරේ ඔය, මියෙනවිටි ඔය, මොන්දගල්  ඔය, කඹුරුගම් ඔය එම අතු ගංගා වේ.  සීතාවක ගඟ ප්‍රදේශයේ කෘෂි අවශ්‍යතා මෙන්ම ප්‍රදේශ වාසීන්ගේ ජල අවශ්‍යතා ද පිරිමසා ලමින් පාඩුවේ ඇදී යයි.

සබරගමු පළාතේ මෙන්ම අවිස්සාවේල්ල ප්‍රදේශයේ ද වැඩි වර්ෂාපතන සහිත කාලගුණයෙන් පෝෂණය වෙමින් ඉතා මනහර දසුන් මවා ලමින් පරිසර සුන්දරත්වය ඔප් නංවන සීතාවක ගඟ කෝටි ප්‍රකෝටි ගණනක වටිනාකම් සිය ජල ගැබ තුළ සඟවාගත් ගංගාවකි. එම වටිනාකම් සීතාවක ගඟට අගයක් එකතු කිරීමට වඩා සිදුව ඇත්තේ එහි අගය විනාශ කිරීමයි. රාත්‍රිය පුරා සබරගමු සීතලට තුරුළු වී නිදා සිටින ගං කොමළිය අවදිවන්නේ පළිඟුවක් මෙන්  නීල වර්ණ ජලකඳකින් සිය වත සරසා ගනිමිනි. නෙක වර්ණ මත්ස්‍යයන් නදියට එක් කරන්නේ  අපමණ සෞන්දර්යකි.

එහෙත් යන්තමින් හිරු පායා එන විට ගං ඉවුරු ජනාකීර්ණ වේ. ඒ රෙදි සේදීමට නෑමට සතුන් නෑවීමට එන ගැමි කතුන්ගෙන් පමණක් නොවේ. ප්‍රදේශවාසීන්ගේ දෛනික අවශ්‍යතා කුළුණු සිතින් ඉවසන සීතාවක ගංගා තොමෝ නිහඬව ඔවුන්ට සේවය සලසති. අනතුරුව පාසලෙන් කට්ටි පනින කොලු ගැටයාගේ පටන් යන්තම් වාරු ඇති  මහල්ලා දක්වා පිරිමි බොහොමයක් වේවැල් කුඩා හෝ අවම වශයෙන් ප්ලාස්ටික් පනිට්ටුවක් හෝ රැගෙන ගඟට බසිනුයේ ගං පතුලේ සැඟවුණු වටිනාකම් සොයාය.

ලංකාවේ හමුවන මැණික් නිධි වර්ග දෙකකි. පළමුවැන්න (ප්‍රාථමික නිධි) මව් පාෂාණය සමග මැණික් එකට පිහිටා තිබෙන මැණික් නිධිය. දෙවැන්න වූ ද්විතීක නිධිවල මැණික් ජලයත් සමග ගසාගෙන ගොස් මව් පාෂාණයෙන් වෙන්ව පවතී. ඉල්ලම් යනු මෙසේ ගසාගෙන යන මැණික් එකතු වූ ස්ථානයි. ලංකාවේ වැඩි වශයෙන් හමුවන්නේ ද්විතීක නිධිය. රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, රක්වාන, නිවිතිගල, කලවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, අයගම, රඹුක, බලංගොඩ, දෙනියාය ප්‍රදේශයන්හි හමුවන්නේ මෙම ද්විතීයික නිධිය. බකමූණ, ඇළහැර, ඕපනායක, ඔක්කම්පිටිය, මහදොල ප්‍රාථමික නිධි පිහිටා තිබේ.

කණ්ඩායම් වශයෙන් රැස් වන ඇතැමුන් මහා පරිමාණයෙන් කරනු ලබන මැණික් ගැරීම නිසා ගං දිය බොර පැහැ වීමට ගත වන්නේ සුළු කාලයකි. අනවසර පතල් කරුවන් විසින් මෙන්ම අවසරලත් පතල් කරුවන් විසින් ද බොර ජලය කෙලින්ම ගංගා ජලයට මුදා හරිනු ලැබේ. නීත්‍යානුකූල පතල් සදහා අවසර ලබා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පනවනු ලබන කොන්දේසි  අමු අමුවේ උල්ලංඝනය කරන පතල් කරුවන්  අවිස්සාවේල්ල අවට පදිංචිකරුවන්ගේ පානීය  ජලයට රොන්මඩ නොඅඩුව මුසු කරති. මන්ද මෙම ප්‍රදේශවාසීන්ගේ ජල අවශ්‍යතා බොහොමයක් පිරිමැසෙන්නේ සීතාවක ගග ආශ්‍රිතව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් සිදුකෙරෙන ජල සම්පාදන ක්‍රමය තුළිනි. අවිස්සාවේල්ල ආශ්‍රිතව  පමණක් ජල සම්පාදන මණ්ඩලය මගින් ජල සැපයුම ලබන ලියාපදිංචි  පාරිභෝගිකයින් සංඛ්‍යාව 8500  කි. අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල, දුම්රිය ස්ථානය , පොලිස් ස්ථානය  මෙන්ම ප්‍රදේශයේ පාසල්  සියල්ලක්ම පානීය ජලය ලබාගන්නේ මෙම ජල සම්පාදන ක්‍රමය මගිනි. රෝහල්ගත රෝගීන්ට  මෙන්ම පාසල් දරුවන්ටද  බොර ජලය පානය කිරීමට සිදුව පැවතීම පිළිබදව  ඇතැම් ප්‍රදේශවාසීන් අදහස් ප්‍රකාශ කළේ දැඩි වේදනාවකිනි.

තැන තැන කපා ඇති පතල් වළවල් හා ගොඩ ගැසූ  වැලි කොට්ට සහිත පස් කදු නිසා ජලය බැසයාම  අවහිර වී  ඩෙංගු රෝගය බරපතල ලෙස හිස ඔසවා තිබේ. එසේම ගං පතුලේ අඩි 10-15, සමහර විට ඊටත් යටට හෑරූ වලවල් මගින් ගග පරිහරණය කරන්නන්ට මාරක උගුල් අටවා ඇත. කඳුකරයේ සිට ගලා එන ජල ප්‍රවාහය සමග සේදී එන ඉල්ලම් සොයා මහා පරිමාණයෙන් මිනිස්සු කැළණි ගඟ හාරා විනාශ කරති. කුරුවින්ද පවුලට අයත් නිල් කැට, පුෂ්පරාග, ආරුනූල්, පද්මරාග හා රතු කැට රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල ආශ්‍රිත මෙම ප්‍රදේශවල බහුලව දැකිය හැක.

ස්වභාව ධර්මය අපට ජීවත් වීම උදෙසා කොන්දේසි විරහිතව අසීමිත සම්පත් රැසක්  ලබා දී තිබේ . එයට වැඩි යමක් අප ස්වභාව ධර්මයෙන් ලබා ගැනීමට උත්සාහ කරන්නේ නම් එය පරිසරයටත් අන්‍යයන්ටත් හානි නොවන ලෙස ලබා ගැනීම යුතුකමක් මෙන්ම වගකීමකි. මෙවන් අසීමාන්තික දරාගැනීම් වලට විරෝධය දැක්වීමට ස්වභාව ධර්මය තීරණය කරන විට මිනිසාට දේපොළින්, ධනයෙන් පමණක් නොව ජීවිත වලින් ද වන්දි ගෙවීමට සිදු වේ.  විටින් විට කැලණි ගං කොමළිය සිය කෝපාවිෂ්ට හැසිරීමෙන් අපට සිහිපත් කරනුයේ ඒ දහමයි.

ගම්පහ – චම්පිකා මුතුකුඩ