hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 27, පෙ.ව. 10:30



ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගි වී අතුරුදන් වන ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ ගන්නා ලෙස ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් සඳහන් කර ඇත්තේ මෙවැනි ක්‍රීඩක-ක්‍රීඩිකාවන් හේතුවෙන් ශ්‍රී ලංකා නාමයට විශාල කැලලක් ඇති වන බවයි.

පසුගිය වසරේදී එංගලන්තයේදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක-ක්‍රීඩිකාවන් විශාල පිරිසක් අතුරුදන් වූ අතර, තවත් පිරිසක් ජපානය, ද.කොරියාව සහ යුරෝපා රටවල ක්‍රීඩා තරග නියෝජනය කරමින් අතුරුදන්ව තිබෙනවා.

“ක්‍රීඩක-ක්‍රීඩිකාවන් විදේශ සංචාරවලට යාමට පෙර රුපියල් මිලියනයකට නොඅඩු බැඳුම්කරයකට හෝ ඔවුන්ගේ දෙමාපියන්ට අයත් ඇපයකට අස්සන් කර ක්‍රීඩා අමාත්‍යාංශයට භාර දිය යුතුයි” යනුවෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්වා දී ඇතැයි වාර්තා වෙනවා.

මෙයට අමතරව තරග කාලසීමාව සඳහා පමණක් වීසා ලබා දෙන ලෙසද විදේශ දූත මණ්ඩලවලින් ඉල්ලා සිටින ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට යෝජනා කිරීමටද ජාතික ක්‍රීඩා සභාව අපේක්‍ෂා කර ඇතැයි පැවැසෙනවා.

“මෙම ක්‍රීඩකයන් විදේශ ගත වන විට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ගිවිසුමක් අස්සන් කරනවා. නමුත් මෙම සංචාරයකදී කිසියම් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් අතුරුදන් වුණොත් මේ ගිවිසුම ඉදිරියට ගෙනි යන්න බැහැ. අපි මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම සිදුවීම් රටේ නමට කැලලක්  වන නිසා මේ වගේ තද නීති ගෙන ඒම හැර වෙනත් විකල්පයක් නැහැ. සමහර සංචාරවලදී ක්‍රීඩකයන් පමණක් නොවෙයි නිලධාරීන්ද අතුරුදන් වෙනවා” යනුවෙන්ද රණතුංග මහතා සඳහන් කර තිබෙනවා.