hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 01, ප.ව. 12:51



මෙරට බැඩ්මින්ටන් පරිපාලනයේ ඇති දුර්වලතා හේතුවෙන් බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ නම් දැරූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන් කිහිප දෙනකු රට හැර යන තත්ත්වයක් නිර්මාණය වි ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව වයස අවුරුදු 16දී එනම් 2012 වසරේදී පළමු වරට බැඩ්මින්ටන් ජාතික ශූරතාවක් දිනූ තිළිණි හෙන්දහේවා මෙන්ම ඇය සමඟ මිශ්‍ර යුගල අංශයට ඉදිරිපත් වන සචින් ඩයස්ද එංගලන්තයට ගොස් ඇතැයිද පැවැසෙනවා.

එහිදී තිළිණි හෙන්දහේවා ජාතික ඔලිම්පික් කමිටුවේ ශිෂ්‍යත්වයක් හේතුවෙන් විදේශගත වී ඇති බව පැවැසෙන නමුත් සචින් ඩයස් ඔහුගේ බිරිඳ සමඟින් විදේශගතව ඇතැයි සඳහන්.

මේ වනවිට 26 වියේ පසුවන තිළිණි සහ සචින් පසුගිය වසර කිහිපය පුරාම උපරිම දක්‍ෂතා දක්වා තිබූ අතර, මේ දෙදෙනා ආසන්න වශයෙන් පසුගිය වසරේදී ඉන්දියාවේදී පැවැති ‘ඔදීෂා’ විවෘත බැඩ්මින්ටන් තරගාවලියේදී මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමටද සමත්ව තිබෙනවා.

කෙසේ වෙතත් බැඩ්මින්ටන් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ සඳහන් කරන්නේ මෙම දෙදෙනාට අමතරව තවත් කිහිප දෙනකුම විදෙස් ගතවීමේ සූදානමක් පවතින බවත්, ඔවුන් මෙසේ විදෙස්ගතවීමට පෙළඹී ඇත්තේ අදූරදර්ශී බැඩ්මින්ටන් පරිපාලනය හේතුවෙන් බවයි. 

“විදේශතවීමට පෙළඹී ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න අංක එකේ ක්‍රීඩකයන්. ඔය ක්‍රීඩකයන් විදේශගත වෙන එක ගැන කිසිම අසාධාරණයක් නැහැ. පසුගිය වසර කිහිපය පුරාම බලයට පත්වුණු බැඩ්මින්ටන් නිලධාරීන් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් සකස් කරලා නැහැ. බැඩ්මින්ටන් පරිපාලකයන් මැදිහත් වෙලා ඔවුන්ට සුදුසු රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් සකසා තිබුණා නම් මේ වගේ ගැටලු මතු වෙන්නේ නැහැ. මේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්  මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න නම් ඔවුන්ට කුමන හෝ වරප්‍රසාදයක්, දීමනාවක් ලබා දිය යුතුයි.  නැත්නම් කොහොමද ඒ අය මේ ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්නේ. 

මේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගෙන් බොහෝ දෙනකු ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ තමන්ගේ පෞද්ගලික මුදල් වියදම් කරගෙනයි. ඒක තමයි ඇත්ත.  මේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට හැමදාමත් ඔය දේ කරන්න පුලුවන්ද? ඒ අය ඔවුන්ගේ අනාගතය හොයාගෙන විදේශ ගත වෙන එක සාධාරණයි. ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් පාලනය කරන්නේ වසර 30ක් විතර පරිපාලනයේ සිටින අයයි. ඒ අය තමයි මේ ක්‍රීඩාව නැත්තටම නැති කරලා තියෙන්නේ” යනුවෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට හිතැති බොහෝ දෙනකු සඳහන් කර තිබෙනවා. 

එසේම ශ්‍රී ලංකාවේ ඉහළ ශ්‍රේණිගත කිරීමක සිටි රන්තුෂ්ක සසිඳුද පුහුණුකරණයේ නිරතවීමේ සැලසුමක් ඇතැයි දැනගන්නට ඇති අතර, මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් ඉහළම තැනක් දිනා සිටින තවත් ක්‍රීඩකයකුද විදේශතවීමේ සූදානම් පවතින බවද බැඩ්මින්ටන් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

බැඩ්මින්ටන් පරිපාලනයේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙන් මේ වනවිට උපරිම රිද්මයේ සිටින ක්‍රීඩක-ක්‍රීඩිකාවන් කිහිප දෙනකුම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් අෑත්වීමේ තත්ත්වයක්ද නිර්මාණය වී ඇතැයිද දැනගන්නට තිබෙනවා.

කරුණු කාරණා එසේ තිබියදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයට ස්ථිර පුහුණුකරුවකු සොයාගැනීමට නොහැකි වී ඇති අතර, සති කිහිපයක පුහුණුවීම් කටයුතු සඳහා පමණක් මේ දිනවලදී ඉන්දුනීසියානු පුහුණුකරුවකු ගෙන්වා ගෙන ඇති බවද වාර්තා වෙනවා.

තවද ජාත්‍යන්තර ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන බැඩ්මින්ටන් මෙවලම් (බැඩ්මින්ටන් රැකට්, ෂට්ල් කොකු, ටී.ෂර්ට් ඇතුලු ක්‍රීඩා උපකරණ) ඉහළ පුටුවල වැජඹෙන නිලධාරීන්ගේ හිතවාදීන්ට පමණක් ලබා දෙන බව පැවැසෙන අතර, මොවුන් බැඩ්මින්ටන් ජේ‍යෂ්ඨයන් කිහිප දෙනකුට කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවද බැඩ්මින්ටන් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර එළැඹෙන වාර්ෂික බැඩ්මින්ටන් නිලවරණයේදීද මෙම ‘පරණ කූට්ටමම’ නැවතත් බලයට ඒම සඳහා බලවත් පරිශ්‍රමයක් දරන බැවින් ඔවුන් නැවතත් බලයට ඒම තුළින් බැඩ්මින්ටන් ක්‍රීඩාව තව තවත් වළපල්ලට යන බව ප්‍රවීණයන්ගේ අදහස වී තිබෙනවා.