hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 10:06



පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් ශ්‍රී  ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළව පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 198ක අවමන් සහගත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගියදා සිදු වුණා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලියෙන් තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක නවසීලන්ත පිලට හැකි වුණා.

එසේම මෙම පරාජයත් සමඟින් එළැඹෙණ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් සපුරා ගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී  ලංකාවෙන් තවදුරටත් අෑත්ව යෑමද කණගාටුදායක සිදුවීමක්.

ඕක්ලන්ඩ් ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී  ලංකා නායකයාගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කළ නවසීලන්තය පන්දුවාර 49.3කදී සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 274ට පිළිතුරු සැපයූ ශ්‍රී  ලංකාවට පන්දුවාර 19.5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ඒ අනුව එම අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී  ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස අනවශ්‍ය කලබලකාරීත්වය හේතුවෙන් දුවද්දී දැවී යෑමකට හසුවූ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගිය අතර, පැතුම් නිස්සංකට ලබා ගත හැකි වූයේ ලකුණු 9ක් පමණයි.

පැතුම්ගේ දැවී යෑමත් සමඟින් ශ්‍රී  ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. ඒ අනුව කුසල් මෙන්ඩිස් ද ලකුණු නොලබා ක්‍රීඩාගාරය වෙත හැරී ගියා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කඩා වැටුනු ශ්‍රී  ලංකා ඉනිමට මුක්කුවක් ගැනීමට ඇන්ජිලෝ මැතිව්ස් සමඟින් එක්ව දැඩි උත්සාහයක් ගත් චරිත් අසලංක සිවුවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වුණා.

නායක දසුන් ශානක තමන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම නැවතත් ක්‍රීඩාගාරය වෙත හැරී ගිය අතර, එම අවස්ථාව වන විට ශ්‍රී  ලංකා ලකුණු පුවරුව 31ක් ලෙසින් දැක්වුවා.

ඉන් අනතුරුව ලකුණු 18ක් ලබා සිටි ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 18කට 6 වැනි කඩුල්ල බවට පත්වෙද්දී වනිඳු හසරංග ලකුණු 2කට දැවී ගියේ 7 වැනි කඩුල්ල ලෙසින්.

කසුන් රාජිත ලකුණු 5කට දැවී ගිය අතර, චාමික කරුණාරත්න ලකුණු 11ක් හා ලහිරු කුමාර ලකුණු 10ක් ලබාගත්තා.

ශ්‍රී  ලංකා ඉනිම විනාශය කරා රැගෙන ගිය හෙන්රි ශිප්ලි ලකුණු 31කට කඩුලු 5ක් බිඳහෙලූ අතර ඩැරල් මිචෙල් සහ බ්ලෙයා ටික්නර් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත් මෙම ලකුණු 76 වාර්තා අතරට එක්වූයේ එක්දින ජාත්‍යන්තර පිටියේ ශ්‍රී  ලංකාව වාර්තා කළ 5 වැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි.

එසේම ශ්‍රී  ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කළ තරගයෙන් ද ඉන්දියාව හමුවේ ලකුණු 73කට සීමා වුණා.

ඒ අනුව පිට පිට එක්දින තරග 2කදී ශ්‍රී  ලංකා කණ්ඩායම මෙසේ අවම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක්වුණා.

මෙහිදී පළමුව ලකුණු රැස්කළ නවසීලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු ෆින් ඇලන් ලකුණු 51ක් රැස්කළ අතර ඩැරල් මිචෙල් ලකුණු 47ක් ලබා ගත්තා.

ශ්‍රී  ලංකාව වෙනුවෙන් චාමික කරුණාරත්න තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුනු 43කට කඩුලු 4ක් බිඳහෙලුවා.