hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:10



සංචාරක අයර්ලන්තය සමඟින් ගාල්ල ජාත්‍යන්තර පිටියේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 280ක වාර්තාගත ජයක් හිමි කර ගැනීමට තෙවැනි දිනය වන ඊයේ (18) ශ්‍රී ලංකා පිලට හැකි වුණා.

දෙවැනි දිනය වන පෙරේදා දිනයේදී කඩුලු 7කට ලකුණු 117ක් ලබා සිටි අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සීමා කළ ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ දිනයේදී පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවස්ථාව අයර්ලන්තයට පැවරුණා.

ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වෙමින් දෙවැනි ඉනිම ඇරැඹූ අයර්ලන්ත ආරම්භක කඩුල්ලේ සබඳතාවය මෙවරත් ලකුණු බින්දුවකට සීමා කිරීමට නැවතත් විශ්ව ප්‍රනාන්දුට හැකියාව ලැබුණා.

ඒ අනුව මරේ කමින්ස් කිසිදු ලකුණක් ලබාගැනීමට පෙරත්, ඇන්ඩි බල්බර්නි ලකුණු 6කටත් ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ විශ්ව ප්‍රනාන්දු තරගය වේලාසනින්ම අවසන් කරගැනීමේ මාර්ගය විවර කර දුන්නා.

ඉන් අනතුරුව ජේම්ස් මැකලම් ලකුණු 8කටත්, ලෝකන් ටකර් ලකුණු 6කටත් ජයසූරිය හමුවේ දැවී යන විට අයර්ලන්ත ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 32ක් ලෙස දැක්වුණා.

අනතුරුව හැරී ටැක්ටර්ට එකතු වූ පීටර් මුවර් අයර්ලන්ත ඉනිම ඇදගෙන යෑමට වෙරදැරුවද එය ව්‍යාර්ථ වී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ෂෝට් ලෙග්හි පන්දු රකිමින් සිටි නිෂාන් මධුෂ්කගේ අනගි උඩපන්දු රැකගැනීමක් හමුවේ මුවර් ලකුණු 0කට දැවී ගිය බැවින්.

කෙසේ වෙතත් කඩුලු 5ක් ලකුණු 40ක් තුළ බිඳ වැටී තිබියදී ටැක්ටර්ට එකතු වූ කර්ටිස් කැම්පර් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 60ක සබඳතාවක් එක්කරමින් ලකුණු 100 දක්වා අයර්ලන්ත දෙවැනි ඉනිම ඇදගෙන ගියා.

යළිත් නිෂාන් මධුෂ්කගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ ලකුණු 30ක් ලබා සිටි කැම්පර්, රමේෂ්ගේ ගොදුරක් බවට පත්වන විට අයර්ලන්තයේ ඉරණම වේලාසනින්ම විසඳෙන බව පෙනෙන්නට තිබුණා.

අයර්ලන්ත දෙවැනි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටි හැරී ටැක්ටර් ලකුණු 42ක් ලබා 7 වැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යන විට අයර්ලන්තය ලකුණු 108ක් ලබා සිටියා.

එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 23ක් එකතු වෙද්දී ලකුණු 10ක් ලබා සිටි ඇන්ඩි මැක්බ්‍රයන්ද රමේෂ්ගේ ගොදුරක් බවට පත්වන විට අයර්ලන්තය කඩුලු 8කට ලකුණු 131ක් ලෙස දැක්වුණා.

මේ අතර ඇන්ඩි මැක්බ්‍රයන්ගේ කඩුල්ල දවාගැනීමත් සමඟ රමේෂ් මෙන්ඩිස් අඩුම තරග ගණනකදී කඩුලු 50ක් ලැබූ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර දිල්රුවන් පෙරේරා සමඟ සම තැන් ගැනීමට සමත් වුණා.

ඒ අනුව දිල්රුවන් පෙරේරා තරග 11කදී හා රමේෂ් මෙන්ඩිස්ද තරග 11කදී කඩුලු 50 සීමාවට පිවිස ඇති නමුත් දිල්රුවන් පෙරේරා ඉනිම 22කදීත්, රමේෂ් මෙන්ඩිස් ඉනිම 21කදීත් මෙම සීමාවට ළඟා වී තිබීමද කැපී පෙනේ. 

ලකුණු 32ක් ලබා සිටි ජෝර්ජ් ඩොක්රෙල් අයර්ලන්ත ඉනිමේ නවවැනි කඩුල්ල ලෙසත්, එක් ලකුණක් ලබා සිටි බෙන් වයිට් අවසන් පිතිකරුවා ලෙසත් දැවී යනවිට ශ්‍රී ලංකා පිලට ඉනිමක හා ලකුණු 280ක ජයක් හිමි වුණා. 

මේ අනුව ශ්‍රී ලංකාව ලැබූ මෙම දැවැන්ත ජයග්‍රහණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණය බවට පත්වූ අතර, මෙයට පෙර එනම් 2004 වසරේ මැයි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල ඉනිමක හා ලකුණු 254ක ජයක් වාර්තා කර තිබුණා.

පළමු ඉනිමේදී කඩුලු 7ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් ලබා තරගයකදී කඩුලු 10 සීමාව වෙත ළඟා වූ දෙවැනි අවස්ථාව සටහන් කරගැනීමට ප්‍රභාත් ජයසූරියට හැකි වූ අතර, මේ හේතුවෙන්ම තරගයේ වීරයා සම්මානයත් ජයසූරියට හිමි වුණා.

පෙරදිනයේ කඩුලු 7කට ලකුණු 117ක් වූ අයර්ලන්ත පළමු ඉනිමේ අටවැනි කඩුල්ල ලෙස ලකුණු 45ක් ලබා සිටි ලෝකන් ටකර් ක්‍රීඩාගාරයට හරවා යැවීමට ජයසූරිය සමත්වීමත් සමඟ පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහරදීමේ අවදානම අයර්ලන්තයට ඉක්මනින්ම ළඟා වන බව පෙනෙන්නට තිබුණා.

ඒ බව මනාව ඔප්පු කරමින් එම ලකුණු ප්‍රමාණයේදීම මාක් ඒදියර් කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර ජයසූරිය හමුවේත්, ඇන්ඩි මැක්බ්‍රයන් ලකුණු 7ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස් හමුවේත් දැවී යන විට අයර්ලන්ත පළමු ඉනිම ලකුණු 143කට සීමා වුණා.

පන්දුවාර 23ක් යවා ලකුණු 52කට කඩුලු 7ක් දවාගත් ප්‍රභාත් ජයසූරිය අයර්ලන්ත පළමු ඉනිමේ විනාශකාරයා බවට පත්වූ අතර, මෙය ඔහුගේ ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම බවටද පත් වුණා.

මෙයට පෙර එනම් පසුගිය වසරේදී ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව මෙම ක්‍රීඩා පිටියේදීම ඔහු ලකුණු 59කට කඩුලු 6ක් දවාගෙන තිබුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් ලකුණු රැස්කළ ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6කට දැවැන්ත ලකුණු 591ක් ලබාගත් අතර,  එම ලකුණු ප්‍රමාණයට ශතක 4ක් ඇතුළත් වීම විශේෂත්වයක්.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 179ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 140ක්, සධීර සමරවික්‍රම නොදැවී 104ක්, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 102ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ ශතකලාභියෝ බවට වුණා.