hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:18



මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිට වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම් දක්වාම පුහුණු උපදේශකවරයකු ලෙස කටයුතු කරන බවත් ඒ මහතාගේ සේවය මෙම ක්‍රිකට් කණ්ඩායම්වල සෙවනැල්ල සේ රැඳී පවතින බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් සතු ධනාත්මක සාධකයක් ලෙස දකින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ඊයේ (15) ප්‍රකාශ කළා.

ශම්මි සිල්වා මහතා මේ බව පැවැසුවේ ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගේ සහභාගීත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මහේල ජයවර්ධන මහතා පුහුණු උපදේශකයකු වූ පමණින් ඔහු සෑම තරගාවලියකටම සහභාගි වීම අපි අපේක්ෂා නොකරන බවත් එහෙත් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තේරීමේ පටන් ක්‍රීඩා පිටිය තුළ සිදුකරන ඇතැම් කර්තව්‍යයන් හිද පිටුපස සිටින දැවැන්ත චරිතයක් ලෙස ඒ මහතා හැඳින්විය හැකි බවද ක්‍රිකට් සභාපතිවරයා පැවසුවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය පසුපස සිටින්නේ හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවා.

නාමල් රාජපක්ෂ මහතා වසර දෙක හමාරක් තිස්සේ ක්‍රීඩාවට කළ සේවයේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවද ඔහු සඳහන් කළා.

ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව දක්ෂයන්ට ඉදිරියට ගෙන ඒම සඳහා නාමල් රාජපක්ෂ මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව ද ඒ මහතා කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ දිනන්න ආරම්භ වූවා පමණක් බවත් ඉදිරියේදී තවත් බොහෝ ජයග්‍රහණ ඔවුන් ගෙන එනු ඇති බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා.

ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමන් එදා ඇතැම් තීන්දු තීරණ ගනිද්දී සමහරුන් ඊට විවේචන කළ බවද ඒ මහතා සඳහන් කළා.

දැන් ක‍්‍රීඩාව සදහා ක‍්‍රමවේදය් සකස් කර ඇති බවත් කවුරුන් ක‍්‍රීඩා අමාත්‍යවරයා වුවත් එම ක්‍රමවේදය බිඳ නොහෙලන්නේ නම් ක්‍රීඩාව ඉදිරියට යනු ඇති බවත් ඔහු කියා සිටියා.