hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 20, ප.ව. 12:11



නවසීලන්තය සමඟින් පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වී සිටින ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයට ඊයේ තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2කට ලකුණු 113ක් ලබා සිටියා.

ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් අතැතිව තවත් ලකුණු 303ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුව තිබෙනවා.

නවසීලන්තයේ වෙලිංටන්හිදී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන්ම ලකුණු රැස්කළ නවසීලන්තය ශ්‍රී ලංකා පන්දු යවන්නන් තුට්ටුවකටවත් මායිම් නොකරමින් පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4කට දැවැන්ත ලකුණු 580ක් ලබාගත්තා.

එහිදී විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ කේන් විලියම්සන් හා හෙන්රි නිකොල්ස් ද්විත්ව ශතක (215 හා නොදැවී 200) රැස් කිරීම කැපී පෙනුණා.

එම දැවැන්ත ලකුණු 580කට පළමු ඉනිම වෙනුවෙන් පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා පළමු ඉනිම ඊයේ දිනයේදී ලකුණු 164කට සීමා කළ හෙන්රි හා බේ‍රස්වල් ඇතුලු නවසීලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකාවට ඊයේ දිනයේදීම දෙවැනි ඉනිම වෙනුවෙන්ද පිටියට ඒමට මාර්ගය සැලැසූවා.

පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කඩුලු 4ක් ලකුණු 34කට දැවී ගොස් තිබියදී නායක දිමුත් කරුණාරත්නට එකතු වූ දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 114ක් දක්වා රැගෙන ආවේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් එක්කරමින්.

එහෙත් චන්දිමාල්ගේ දැවී යෑමෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා කඩුලු පහසුවෙන්ම එකින්  එක බිඳ වැටෙද්දී හුදෙකලා ඉනිමක නිරත වූ ශ්‍රී ලංකා නායකයා පන්දු 188කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 89ක් ලබාගත්තා.

නිරෝෂන් දික්වැල්ල වෙනුවට ආදේශ වූ නවක යොවුන් පිතිකරු නිෂාන් මධුෂ්ක පන්දු 31කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබාගත්තා.

ලකුණු 416ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 26ක් වෙද්දී ලකුණු 5ක් ලබා මෙවරත් අසාර්ථක වූ ඕෂධ ප්‍රනාන්දු ක්‍රීඩාගාරයට හරවා යැවීමට බේ‍රස්වල්ට හැකි වුණා. 

ඉන් අනතුරුව ඊයේ දිනයේදීම පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලැබූ නායක කරුණාරත්නට එකතු වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 97ක් දක්වා රැගෙන ආවා. 

දෙවැනි ඉනිමේදීත් අර්ධ ශතකයක් (ලකුණු 51ක්) ලැබූ ශ්‍රී ලංකා නායකයා දැවී යන විට මෙන්ඩිස් සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවක් එක්කර තිබුණා.

කෙසේ වෙතත් කරුණාරත්නගේ දැවී යෑමෙන් අනතුරුව තෙවැනි දිනයේ තරගය නිමා වනවිට මෙන්ඩිස් නොදැවී ලකුණු 50ක් හා ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 1ක් ලබා සිටියා.