hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 20, ප.ව. 12:21



ශ්‍රී  ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය වෙනුවෙන් මෙයට පෙර නම් කළ නවසීලන්ත සංචිතයේ තවත් වෙනස්කමක් සිදු කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් බේ්‍රස්වෙල් වෙනුවට රචින් රවීන්ද්‍ර එක්දින තරගාවලිය සඳහා නම් කළ නවසීලන්ත සංචිතයට එක් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

නවසීලන්ත සංචිතයේ සිදු කළ මෙම වෙනස්කමට ද එළැඹෙන ඉන්දීය පී්‍රමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය හේතුපාදක වී තිබීමද විශේෂත්වයක්.

එනම්  එළැඹෙන අයි.පී.එල්. තරගාවලියේදී මයිකල් බ්‍රේස්වෙල්ට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදාවී තිබීම හේතුවෙන් ඔහුව එක්දින සංචිතයෙන් නිදහස් කිරීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එහිදී එංගලන්ත ක්‍රීඩක විල් ජැක්ස් මෙයට පෙර බැංග්ලෝර් පිල නියෝජනය කිරීමට නියමිතව තිබුණද ඔහු ආබාධයකට ගොදුරු වීම හේතුවෙන් මෙලෙස මයිකල් බේ්‍රස්වෙල් ඊට ආදේශ කිරීමට බැංග්ලෝර් කළමණාකාරීත්වය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් බේ‍රස්වෙල්ට අමතරව නායක කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවෝන් කෝන්වේ සහ මිචෙල් සැන්ට්නර් ද ශ්‍රී  ලංකාව සමඟින් පැවැත්වීමට නියමිතව ඇති එක්දින සහ විස්සයි-20 තරගාවලියෙන් නිදහස් කර තිබුණේ අයි.පී.එල්. තරගාවලිය සඳහා එක්වීමට ඉඩ සළසා දීම වෙනුවෙන්.

එයට අමතරව ෆින් ඇලන්, ග්ලේන් පිලිප්ස් සහ ලොකී ෆර්ගියුසන් ද ශ්‍රී  ලංකා – නවසීලන්ත පළමු එක්දින තරගයෙන් අනතුරුව එක්දින සංචිතයෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත්තේ ද ඔවුන් අයි.පී.එල්. තරගාවලියට එක්වීමට නියමිතව ඇති බැවින් වීම ද කැපීපෙනෙන සිදුවීමක්.