hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 9:43



ලිංගික අතවර චෝදනාවකට ලක්ව අධිකරණය මඟින් දෙවතාවක්ම ඇප ප්‍රතික්ෂේප වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි සමාලෝචනය කිරීම අද සිඩ්නි නුවර අධිකරණයේදී සිදු කිරීමට නියමිත අතර, ඊට අදාළව කරුණු දැක්වීමට ඊයේ අධිකරණයේ පෙනී සිටි ඔහුගේ නීතිඥවරුන්ට වැදගත් තොරතුරු අඩංගු USB දත්ත ගබඩා ආධාරකයක් පරීක්ෂා කර බැලීමේ අවසරය ලැබී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

එම USB ආධාරකයේ වැදගත් ලිපිගොනු සහ සිඩ්නි නුවර දුම්රිය ස්ථානයක සීසීටීවී දර්ශන ද ඇතුළත් බවට වාර්තා වෙනවා.

දුම්රිය ස්ථානයක සීසීටීවී දර්ශන සහ ලිපිගොනු කවරේදැයි යන්න වාර්තා නොවූව ද, එය ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කර ගැනීමටත්, එමඟින් ලබන මාසයේ සිඩ්නි ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවා ඇති නඩු විභාගයේදී ඔහුට ඇප ලබා ගැනීමට ඉවහල්වනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

ධනුෂ්කගේ නීතිඥවරුන් විසින් සිදු කරනු ලැබූ ඇප ඉල්ලීමට අදාළ කරුණු අසා සිටි විනිසුරු රොබට් විලියම්ස් එම ලිපිගොනු සහ සීසීටීවී දර්ශන ඇතුළත් USB ආධාරකය පරීක්ෂා කර බැලීමට අවසර දී තිබෙනවා.

අද සිඩ්නි අධිකරණයේදී සිදු කෙරෙන ඇප කොන්දේසි සමාලෝචනය කිරීමේ අවස්ථාවට ධනුෂ්ක පෙනී සිටිනු ඇතැයි වාර්තා වන අතර, ඔහු ඊයේ අධිකරණයේ පෙනී නොසිටි බවත්, ඒ සම්බන්ධව ඔහුට විනිසුරුවරයාගේ සමාව ලැබුණු බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

කැමැත්තෙන් තොරව ලිංගිකව එක් වූ බවට ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව පසුගියදා අත්අඩංගුවට පත් වූ ධනුෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා හතරක් එල්ල වී ඇති අතර, ඔහු මේ වන විට සිඩ්නි නුවර පොලිස් රැඳවුම් භාරයේ පසු වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: