hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 30, ප.ව. 5:48



ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියේ ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ කාර්යභාරය මේ වන විට අවසන්ව ඇති බවත් එම අදියරයේ තමන්ගේ කාර්යභාරය ලෙස ලබන 14 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා පාපන්දු නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදු කරන බවත් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා ඊයේ (29) පැවසුවා.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තහනමෙන් මුදා ගැනීම සඳහා සියලු පාපන්දු ලීග ප්‍රධානීන් එක මේසයකට කැදවා එක මතයක සිටිමින් පිටකෝට්ටේ බැද්දගාන පිහිටි පාපන්දු පුහුණු මධ්‍යස්ථානයේ පැවැති පැවති මාධ්‍ය හමුවේ දී
ජස්වර් උමර් මහතා ඒ බව සඳහන් කළා.

ලබන 14 වැනිදා ප.ව.2.00 ට කොළඹ පදනම් ආයතනයේදී එම මහා සභා රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද ඒ සඳහා සහභාගී වන ලෙස සියලු පාපන්දු ලීග නියෝජිතයන්ට දැනුම් දී ඇති බව ද ඒ අයගේ සහභාගීත්වය එදින අනිවාර්යෙන් බලාපොරොත්තු වන බව ද ජස්වර් උමාර් මහතා කියා සිටියා.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනි දා සියලු දෙනාගේ එකමුතුවෙන් සම්මත කරගත් පාපන්දු නව ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යංශය ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ ආසන්නතම හේතුව බවද ජස්වර් මහතා සඳහන් කළා.

එහෙත් මේ වන විට ඇමතිවරයා නම්‍යශීලී බවකින් කටයුතු කර එම ව්‍යවස්ථාව අනුමත කර ඇති බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය ඒ අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවත් කිරීමට අවශ්‍ය අනුමැතිය දී ඇති බවද ජස්වර් මහතා සඳහන් කර සිටියා.

ඊට පෙර ශ්‍රී ලංකාව නිලවරණය පවත්වා නව නිලධාරීන් පත් කර ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවද ජස්වර් මහතා පැවසුවා.

එළැඹෙන අගෝස්තු 14වැනිදා පැවැත්වෙන මහා සභා රැස්වීමෙන් අනතුරුව ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා කැඳවීමට තීරණය කර ඇතැයි ද ජස්වාර් මහතා සඳහන් කළා.

ඉදිරි රැස්වීමේදී නිලවරණය පැවැත්වෙන දිනයක් සහ නිලවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකාව සහ යේමනය අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන පළමු තරගයට දින 10කට පෙර අදාළ නිලධාරි මණ්ඩල පත් කිරීම ට කටයුතු කළ යුතු බවද ඒ මහතා කියා සිටියා.

එම තරගය ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වුවද ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ලබන 14 වැනිදා පැවැත්වෙන මහා සභා රැස්වීමෙන් පසුව සිදු කෙරෙන බව ද ජස්වාර් මහතා පැවසුවා.

එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හිටපු පාපන්දු සභාපති රංජිත් රොද්‍රිගු මහතා,

“අපි බෙදිලා හිටිය කාලය ඇති.සභාපති පුටුවට අපි හැමෝම ආසයි.හැබැයි සභාපති පුටුවට වඩා අපි රටේ පාපන්දුවට ආදරෙයි.පාපන්දුවට අපි සැබෑවටම ආදරේ නම් අපි මේ පාපන්දුව බේරගන්න ඕන.ඒ සඳහා අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳ ගත්තා.මට මතකයි අපිට එකතු වෙන්න බැරිද කියලා මුලින්ම ඇහැව්වේ බදුල්ල පාපන්දු ලීගයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා.ඒවගේම ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් ට මම පසුගියදා කතා කරා.මට ඒ අය කිව්වේ කිව්වේ ඇයි ඕගොල්ලො බෙදිලා ඉන්නේ ඕගොල්ලො මුලින් එකතු වෙන්න කියලා. අන්තිමට අපි මොලේ පෑදිලා ඒ තීරණයට ඇවිත් තියෙනවා.අද අපිට ඒ ගැන සතුටුයි.හිටපු සභාපති ජස්වර් මේ කර්තව්‍යයේ දී විශාල කැප කිරීමක් කරා.
හැබැයි මම කාගෙවත් සුදු හුණු ගාන්න යන්නේ නැහැ.රටට පාපන්දු තහනමක් වැටෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ ක්‍රීඩා අමාත්‍යංශයේ වැරදි තීරණයි.

මෙම මාධ්‍ය හමුව ඇමතූ හිටපු පාපන්දු ජේෂ්ඨ උප සභාපති විධායක මණ්ඩල සභික වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පැවසූයේ අද රැස්වීම සඳහා හිටපු සභාපති අනුර ද සිල්වා මහතා නොපැමිණියද ඔහුගේ සහභාගිත්වය ද ඉදිරියේදී තමන් අපේක්ෂා කරන බවයි.

“ඔහු එයි කියා අපි බලාපොරොත්තු වෙනවා.මේ සම්බන්ධයෙන් මගෙත් සමග ඔහු කතා කළා.පසුගිය වර ඡන්දයේ දී ඔහු මගේ පැත්තෙන් ලේකම් ලෙස තරඟ කළා.මේ අගාධයෙන් ගොඩ වෙන්න ඔහුටත් අවශ්‍යයි. ඒ වගේම කණ්ඩායමක් හැටියට අපි ගත්තොත් විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍යයි. මේක ඉක්මනින්ම කරන්න ඕනේ. නමුත් ඒ එන ක්‍රීඩකයන්ට අවශ්‍ය රක්ෂණාවරණ වගේ පහසුකම් ගැන කතාබහ කරමින් ඉන්නේ.ඒවා අපි ඉක්මනට සලසන්න ඕන.”