hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 30, ප.ව. 12:26



2023 ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන ජූනි මස 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29) නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙයට පෙර එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ ක්‍රීඩක වෙන්දේසිය ජූනි මස 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන් කෙරුණා.

ඒ අනුව මෙම සංශෝධිත දිනය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය 14 වැනිදා කොළඹ ෂැන්ගි්‍රලා හෝටලයේදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බවයි.

එල්.පී.එල්. තරගාවලි ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන්ට ලියාපදිංචි වීම සඳහා ලබා දී තිබූ අවස්ථාව ද මේ වන විට නිමාවට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලොව විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි තුළ තම ආදිපත්‍ය පතුරුවන සුපිරි ක්‍රිකට් තරු රැසක් ලියාපදිංචිවී ඇති බවද ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරනවා.

එසේම මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් මිලදී ගැනීම සහා එක් කණ්ඩායමකට ඇමරිකන් ඩොලර් මිලියනයක් පමණ මුදලක් වැයකිරීමට අවසර හිමිව ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩක වෙන්දේසියේදී තෝරාගනු ලබන ක්‍රීඩකයකු සමඟින් තෙවසරක ගිවිසුමකට එළැඹීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව සළසා දී තිබෙනවා.

එසේම සෑම අදියරක් අවසානයේදීම ක්‍රීඩකයන් සංචිතයෙන් නිදහස් කිරීමේ හෝ රඳවා ගැනීමේ බලයත් කණ්ඩායම් හිමිකාරීත්වයට පිරිනමා තිබෙනවා.

ඒ අනුව ඇතිවන පුරප්පාඩු සඳහා කුඩා ක්‍රීඩක වෙන්දේසයක් පැවැත්වීමටත් සැළසුම් කර ඇති බවද සඳහන්.

එසේම ජාත්‍යන්තර වරම් හිමිකරගෙන ඇති සහ ජාත්‍යන්තර වරම් හිමිකරගෙන නොමැති ලෙස කාණ්ඩ 2ක් යටතේ ක්‍රීඩකයින් මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලියාපදිංචි කරනු ලබනවා.

එහිදී ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් ඇමරිකන් ඩොලර් 10,000, ඇ.ඩො. 20,000, ඇ.ඩො. 30,000, ඇ.ඩො. 40,000 සහ ඇ.ඩො. 50,000 යන මූලික වටිනාකම් යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එල්.පී.එල්. සිවුවැනි අදියර එළැඹෙන ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා කණ්ඩායම් 5ක සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.