hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 20, ප.ව. 8:37



ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ නිල රූපවාහිනී විකාශන සහකරු ලෙස අද දෙරණ 24 නාලිකාව තරග සංවිධායක IPG Sports සමූහය සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගාවලිය, 2022 වසරේ දෙසැම්බර් මස 6 වන දින ආරම්භ වීමට නියමිතයි.

මේ අනුව අද දෙරණ 24 ඔස්සේ තරග 23ක සජීවී ආවරණය ශ්‍රී ලාංකීය ජනතාවට දැකබල ගැනීමට අවස්ථාව උදාවනු ඇති.

එවින් ලුවිස්,කාලොස් බ්‍රත්වෙයිට්, ජැනමන් මේලන්, ඩ්වීන් ප්‍රිටොරියස්, ඩාර්සි ශෝර්ට්, ෂොයිබ් මලික් ඇතුළු විදේශීය ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලත් කණ්ඩායම් 5කින් සැදුම්ලත් 2022 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ඉතා තරගකාරී තරග රටාවක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ද මෙම තරඟාවලියට සහභාගී වීමට නියමිත අතර ඔවුන් පළාත් කණ්ඩායම් නියෝජනය කරනු ඇති.

නිල විකාශනය පිළිබඳ හවුල්කාරිත්වය සංකේතවත් කිරීමක් පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර, IPG Sports සහ දෙරණ මාධ්‍ය ජාලයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා.

උත්සව සභාව අමතමින් IPG Sports හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනිල් මෝහන් මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලාංකිකයන් විසින් ආදරය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුවත් නාලිකාව වන අද දෙරණ 24 සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි ඉමහත් සතුටට පත්වෙනවා” යනුවෙනි.

ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ පුරෝගාමීම මාධ්‍ය ආයතනය ලෙස, අද දෙරණ -24 සෑමවිටම ජනතාවගේ හදවත්වලට සමීප වන්නේ අප අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා නිතැතින් සපුරන නිසා යැයි දෙරණ විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.

එසේම මෙම තරගාවලිය මෙම කාල වකවානුවේ විවිධ ගැටලුකාරී තත්වයන් අත්විඳින ජනතාවට සහනයක් මෙන්ම විනෝදාස්වාදයක් ලබා දෙනු ඇති අතරම, ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙය විදෙස් ක්‍රිකට් තරු වඩාත් සමීප කරවන උද්වේගකර තරගාවලියක් වනු ඇතැයි  මා විශ්වාස කරනවා.”

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා ද මෙහිදී  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ලංකා ප්‍රිමියර් ලීගය  සිය නිල විකාශන සහකරු ලෙස අද දෙරණ 24 සමඟ එක්වීම පිළිබඳව සංවිධායකයකු වශයෙන්  අතිශයින් සතුටට පත්වෙනවා” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: