hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මැයි 24, පෙ.ව. 10:15



ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි අදියර ජූලි මස 30 වැනිදා සිට අගෝස්තු මස 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, එල්.පී.එල්. ඉතිහාසයේ පළමු වරට මෙවර ක්‍රීඩක වෙන්දේසියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවත් වාර්තා වෙනවා.

ඒ අනුව මෙම එල්.පී.එල්. සිවුවැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන ජූනි මස 11 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ. කෙසේ වෙතත් මෙයට පෙර පැවැති එල්.පී.එල්. අදියරයන්හිදී ක්‍රීඩකයින් තෝරාගැනීම ක්‍රීඩක කෙටුම්පත් කිරීමකින් (Player Draft) සිදු කෙරුණා.

එසේම ලොව විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලි (Franchise Leagues) අතුරින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හැරුණුකොට ක්‍රීඩක වෙන්දේසියක් ක්‍රියාත්මක වන්නේ මෙවර එල්.පී.එල්. තරගාවලිය තුළදී පමණක් වීමද විශේෂත්වයක්.

කෙසේ වෙතත් මෙයට පෙර ක්‍රිකට් ආයතනය නිකුත් කර තිබූ නිවේදනයක දක්වා තිබුණේ මෙවර එල්.පී.එල්. තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ අවස්ථාව ජූනි මස 4 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති බවයි.

එසේ වුවත් මෙම නව තීරණයත් සමඟින් ක්‍රීඩයන් තෝරා ගැනීම ක්‍රීඩක වෙන්දේසියක් ලෙස ජුනි 11 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබීමද විශේෂත්වයක්.

තවද මෙවර එල්.පී.එල්. තරගාවලිය ආරම්භයට පෙර විදෙස් ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයින් රැසක් එල්.පී.එල්. සිවුවැනි අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසියට පෙර කණ්ඩායම් සමඟින් ගිවිසුම්ගතව ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම වෙනුවෙන් පාකිස්තාන නායක බාබර් අසාම්, නසීම් ෂා යන විදෙස් ක්‍රීඩකයින්ද මතීෂ පතිරණ සහ චාමික කරුණාරත්න යන දේශීය ක්‍රීඩකයන් ද ගිවිසුම්ගතව ඇති අතර, දඹුල්ල ඕරා කණ්ඩායම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්, දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩි මෙන්ම ශ්‍රී  ලංකා විස්සයි-20 ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු දැනටමත් ගිවිසුම්ගතව අවසන් බවද මෙහිදී සඳහන් කෙරුණා.

එසේම බංග්ලාදේශ නායක සකීබ් අල් හසන්, දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක තබේ්‍රස් ශම්සි මෙන්ම ශ්‍රී  ලංකා විස්සයි-20 සහ එක්දින නායක දසුන් ශානක සහ භානුක රාජපක්ෂ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතව තිබීමද විශේෂත්වයක්.

එයට අමතරව දකුණු අප්‍රිකානු මැදපෙල පිතිකරු ඩේවිඩ් මිලර් සහ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු රමනුල්ලා ගුර්බාස් විදෙස් ක්‍රීඩකයින් ලෙසත්, ශ්‍රී  ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟින් මේ වන විටත් ගිවිසුම්ගතව තිබෙනවා.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම, ඇෆ්ගනිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රෙහෙමාන් සහ පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් විදෙස් ක්‍රීඩකයින් ලෙසත්, ශ්‍රී  ලංකාවේ වනිඳු හසරංග සහ ඇන්ජිලෝ මැතිව්ස් දේශීය ක්‍රීඩකයන් ලෙසත් ක්‍රීඩක වෙන්දේසියට පෙර ගිවිසුම්ගතව තිබීමද කැපී පෙනෙන සිදුවීමක්.

එසේම මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් මිලදී ගැනීම සහා එක් කණ්ඩායමකට ඇමෙරිකන් ඩොලර් මිලියනයක් පමණ මුදලක් වැයකිරීමට අවස්ථාව උදාවන බව මෙහිදී අදහස් දැක්වූ එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂ සමන්ත ‍ෙදාඩංවෙල මහතා කියා සිටියා.

තවද මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී එක් කණ්ඩායමක සංචිතයක් සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගේ උපරිම සීමාවක් පනවා ඇති අතර, සංචිතයකට ඇතුළත් අවම ක්‍රීඩකයින් සංඛ්‍යාව 20ක් ලෙසින් ද දක්වා තිබුණා.

එසේම සෑම කණ්ඩායමක් සඳහාම ජාත්‍යන්තර ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතු බවත් සඳහන්ය. එයට අමතරව සෑම කණ්ඩායමක් සතුවම දේශීය ක්‍රීඩකයින් 14-19ත් අතර සංඛ්‍යාවක් සිටිය යුතු බව ද මෙහි දක්වා තිබූ අතර, සෑම කණ්ඩායම් හිමිකාරීත්වයකටම ක්‍රීඩක වෙන්දේසියට පෙර ගිවිසුම්ගත විය හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 4ක් ලෙසින්ද දක්වා තිබෙනවා.

2023 එල්.පී.එල්. තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (23) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය වූ අතර, අදාළ මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන ලේකම් මොහාන් ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි. “ශ්‍රී  ලංකාවේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තළයේ අත්දැකීම් ලබා ගැනීමටත්, තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමටත් මෙම එල්.පී.එල්. තරගාවලිය තුළින් හැකියාව ලැබෙනවා. ඒ අනුව එළැඹෙන ජූලි මාසයේදී මෙම තරගාවලියේ සිවුවැනි අදියර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර, මින් පෙර ලබා ඇති අත්දැකීම් ඇසුරින් මෙවර තරගාවලිය ඉතාමත් ඉහළ මට්ටමකින් පැවැත්වීමට අප බලාපොරොත්තු වෙනවා”