hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 02, ප.ව. 1:18



රටෙහි පැවැති දැඩි අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගිය LPL ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මෙයට පෙර මෙම වසරේ අගෝස්තු මස මෙම තරගාවලියට පැවැත්වීමට සැලසුම් කළද රටෙහි පැවැති අර්බුදකාරී වාතාවරණය හමුවේ එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දැමීමට සංවිධායකයන් පියවර ගත්තා.

මෙම තරගාවලිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් දායකත්වයක් සපයන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ තරගාවලියේ හිමිකම් දරන අයි.පී.ජී. ස්පොර්ට්ස් (IPG Sports) සමාගම මෙම තරගාවලිය ඉක්මනින්ම පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අයි.පී.ජී. ස්පොර්ට්ස් සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ මෙම තරගාවලිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වැඩි කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

“අගෝස්තු මාසයේදී සැලසුම් කළ ආකාරයට තරගාවලිය පැවැත්වීමෙන් එම ඉලක්ක ළඟා කරගැනීමට අපහසු විය හැකි බව අපිට පෙනී ගියා. කොහොම වුණත් දෙසැම්බර් මාසය වන විට රටේ තත්ත්වය ස්ථාවර වේවි කියලා අපි සිතන නිසයි මෙම තරගාවලියට දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට තීරණය කළේ”

කෙසේ වෙතත් අගෝස්තු මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට මෙයට පෙර සැලසුම් කර තිබූ අතර, එහි කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ කටයුතු ජුලි 5වැනි දින අවසන් වුණා.

එහිදී ඇන්ජිලෝ මැතිව්ස්, දසුන් ශානක, වනිඳු හසරංග, තිසර පෙරේරා වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ද, ෂොයිබ් මලික්, ඉමාඩ් වසීම්, කාලෝස් බ්‍රාත්වේට්, ඩ්වේන් ප්‍රිටොරියස්, එවින් ලුවිස් වැනි විදේශීය ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් තරු රැසක් මෙම තරගාවලියට එක්ව සිටිනවා.