hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 02, ප.ව. 1:59



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරග තුනකින් යුත් පන්දු වාර 20-20 තරගාවලිය 2-1 ක් වශයෙන් කොදෙව්වන් ජය ගත්තද දකුණු අප්‍රිකානුවෝ එහි දෙවන තරගයේදී ලෝක වාර්තා කීපයක් බිඳ දැමුවා.

ඒ අතරින් එක් ලෝක වාර්තාවක් වූයේ පන්දු වාර 20-20 තරගයක ඉහළම ජයග්‍රාහී ලකුණු හඹා යෑම ලෙස ලකුණු 259 ක් හඹා ගොස් ලබාගත් ජයග්‍රහණයයි.

මේ එම තරගයේ ලකුණු විස්තරය ගැන කතාවක් නම් නොවේ.

එම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් නායක රොව්මන් පවෙල් ප්‍රදර්ශනය කළ මානුෂීය ගුණාංගය පිළිබඳ කතාවක්.

එම තරගයේ දී හතරේ සීමාව කරා ඇදී ගිය පන්දුවක් නතර කිරීමට වේගයෙන් දුව ගිය රොව්මන් පවෙල් අවසානයේ දී එම පන්දුව නතර කිරීමත් නතර කර ක්‍රීඩාංගණයේ හතරේ සීමාවෙන් එහා තිබුණු බෝඩ් එකෙනුත් එහාට පැන බාර් එකක් උඩ නතර වූවා.

ඊට හේතුව වූයේ හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි වයස අවුරුදු 5ක කුඩා ළමුන් දෙදෙනෙක්.

වේගයෙන් දුව ගෙන ආ පවෙල් එම පන්දුව රැක ගන්නට ගියා නම් ඒ කොදෙව් යෝධයාගේ ඇඟේ ගැටෙන ළමුන් දෙදෙනා ට සිදුවන අනතුර සිතා ගන්නට බැරි තරම් වනු ඇති.

ඉන් එක් පොඩි දරුවකු තමා වෙත එන පන්දුව රැකගන්නට ඉදිරියට පැමිණෙමින් සිටි අතර පවෙල් ඒ පන්දුව පිටුපස හඹා එමින් සිටියා.

සිදු වීමට යන අනතුර පිළිබඳ වහා අවබෝධ කර ගත් පවෙල් පන්දුව ඇල්ලීම ද නතර කර ඒ වේගයෙන්ම ළමුන් දෙදෙනාට උඩින් හතරේ සීමාවෙන් එහාට පැන්නා.

ළමුන්ට අනතුරක් නොවුණා.

එහෙත් පවෙල්ට නම් තුවාල වුණා.

පන්දු වාර කීපයක් යන තෙක් නායකයාට යළි පිටියට පැමිණීමට ද නොහැකි වුණා.

පවෙල් එම බාර් එක උඩ අපහසුවෙන් සිටියදී ඒ පිළිබඳව වගේ වගක් නැතිව අර පුංචි දරුවා ලෝකයම දිනුවා සේ පන්දුව අල්ලගෙන ක්‍රීඩාපිටියට යන්තම් විසි කළා.

ප්‍රතිකාර ලැබූ පවෙල් පසුව නැවත ක්‍රීඩා පිටියට ආවා.

ලකුණු 258 ක් වාර්තා කළ ද කොදෙව්වෝ ඒ තරගය පරාජය වුණා.

එහෙත් ඉන් පසුව පැවති තරගයේදී ද යළි ලකුණු 220ක් ලබාගත් කොදෙව් දැවැන්තයෝ ලකුණු 7 කින් තරගය ජයගෙන වසර ගණනාවකට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් ජය ගත්තා.