hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ඔක්‍තෝබර් 27, ප.ව. 9:00



 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බවයි, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ.

අමාත්‍යවරයා චෝදනා කරන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි පිටපතක් ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරමිනි.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි ව ඇති ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොර ව පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් ය.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පිළිවෙත අනුව සාමාජික රටවල පාලක මණ්ඩලත් දූෂණය පිටුදැකීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා යොමු කළ ලිපියේ සඳහන්ය.