hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:16



තම මීළඟ බලාපොරොත්තුව පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සඳහන් කර තිබෙනවා.

ඒ එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමයි.

වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීම තරග ජයග්‍රහණයට තීරණාත්මක සාධකය බවට ක්‍රිකට් විචාරකයින් මත පළ කර තිබු පසුබිමක කාසියේ වාසිය දිනු පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවක් දවාගැනීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත් වුවද නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබාගැනීමට සමත් වුණා.

එහිදි විශිෂ්ට පිති හරඹයක නිරත වු භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් ලබාගැනීමට සමත් වු අතර ඔහුට නොමද සහයක් ලබාදුන් වනිඳු හසරංග වේගවත් ලකුණු 36ක් රැස්කළා.

මුල් පෙළ ශක්තිමත් කරමින් ධනංජය ද සිල්වා ලකුණු 28ක් ලබාගත් අතර ඊට හතරේ පහර 4ක් එල්ල කර තිබුණා.

පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය කරනු ඇති බවට ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තා පවා පෙන්වාදී තිබු පසුබිමක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 147ක් පමණයි.

එහිදි නවක වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ලකුණු 34කට කඩුලු 4ක් දවාගැනීමට සමත් වු අතර චාමික කරුණාරත්න කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල බලපොරොත්තුව වන වනිඳු හසරංග ඔහු යොමුකළ සිව්වන පන්දුවාරයේ දි කඩුලු තුනක් දවාගැනීමට සමත් වු අතර ඒ වන විට ඔහු ප්‍රතිවාදීන්ට ලබාදී තිබුණේ ලකුණු 27ක් පමණයි.

කෙසේවෙතත් පාකිස්තාන ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වු ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් ලබාගත් අතර ඉෆ්තිකාර් අහමඩ් ඔහුට අනගි සහයක් ලබාදෙමින් ලකුණු 32ක් ලබාගත්තා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවතියා.

එය ක්‍රීඩා විචාරකයිගේ ද දැඩි අවදානයට සහ පැසසුමට ලක්වුණා.

මේ අතර අවසන් මහා තරගයේ වීරයා ලෙස භානුක රාජපක්ෂ සම්මාන ලැබුවා.