hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 01, ප.ව. 12:08



අ.පො.ස. උසස් පෙළ විෂය මාලාවට ක්‍රීඩා විෂයන් ඇතුලත් කිරීමෙන් පසු ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙකම සමබරව පවත්වාගෙන යාමට අපේ දරු දැරියන්ට හැකි වේවි. ඉන් පසු ඔවුන් ආරම්භ කිරීමට නියමිත දියගම ක්‍රීඩා විශ්ව විද්‍යාලය වෙත පැමිණ ක්‍රීඩාවේ නියැලෙන ගමන් ක්‍රීඩා අංශයෙන් උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වීම වඩා වටිනවා. එම දරුවන්ගේ දෙමාපියන්ට ද එය මහත් අස්වැසිල්ලක් වනු ඇති බව ක්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (31) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පවත්වනු ලබන වෘත්තීය බොක්සිං තරගාවලිය වන Countdown to the Middle East Crown 5 තරගාවලිය පිළිබදව හදුන්වා දීම සදහා පැවති මාධ්‍ය හමුව අවස්ථාවේ දීයි.

ලෝකයේ තවත් ජනප්‍රිය වෘත්තීය බොක්සිං තරගාවලියක් වන Countdown to the Middle East Crown 5 අදියර නොවැම්බර් මස 26 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දුෂ්කර තත්ත්වයක පවතින අවස්ථාවක ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පළමුව මම DJMC Events Dubai ආයතනයේ සභාපති ඩන්ස්ටන් රොසයිරෝ මහතා වෙත ස්තූතිය හා ගෞවරය පුද කරනු ලබනවා. ඉදිරියේ දී ද මෙවැනිම තරගාවලි හා වැඩසටහන් ශ්‍රී ලංකාව තුල පැවැත්වීමට කටයුතු කරන ලෙස අපි ඒ මහතාගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවේ උපන් ජාත්‍යන්තර ව්‍යාපාර හරහා තම නාමය ලෝකය පුරා ගෙන ගිය DJMC ආයතනයේ සභාපතිවරයාට තිබෙන ජාත්‍යන්තර සබඳතා උපයෝගී කරගෙන ශ්‍රී ලංකාව තුල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීම යි අපේ බලාපොරොත්තුවයි.

ඩන්ස්ටන් රොසයිරෝ මහත්මා අපිට අපේ සෑම ක්‍රීඩාවක්ම දියුණු කරන්න සහයෝගය ලබා දෙන බවට මම විස්වාශ කරනවා. සංචාරක ආකර්ශණය දිනා ගත හැකි ලෝක ප්‍රසිද්ධ වෙරළ ක්‍රීඩා තරගාවලි ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙනවා. එහි දී අපිට ලෝකයේ වැඩි ආකර්ශණයක් දිනා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම හැමෝම කතා කළ ක්‍රීඩා ආර්ථිකය යථාර්තයක් බවට පත් වෙනවා.

මේ ආකාරයේ වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ සංචාරක ව්‍යාපාරය හා එහි සේවා සපයන ආයතන, ප්‍රවාහන හා හෝටල් කර්මාන්තය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙන්ම පොදුවේ තවත් බොහෝ ක්ෂේත්‍රයන් හි සැමට ලැබෙනු ඇත.

මෙම තරඟාවලිය සදහා මෙවර සත්කාරකත්වය දරන ශ්‍රී ලංකාව සමගින් ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව, තායිලන්තය, යුක්‍රේනය, ටජිකිස්ථානය, පාකිස්ථානය,පිලිපීනය, ඝානාව වැනි රටවල් 14 කින් ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩකයින් 18 ක් සහ ලෝක ශූර කාන්තා බොක්සිං ක්‍රීඩිකාවන් 2 ක් සහභාගී වීමට නියමිතයි. Fite TV හරහා මෙම තරගාවලිය රටවල් 34 ක ප්‍රචාරය වීම ශ්‍රී ලංකාවට වඩා හොද ආකර්ශණයක් ලැබෙනු ඇත.

ලෝක බොක්සිං කවුන්සිලයේ තරඟ සැකසීම සම්බන්ධයෙන් විශිෂ්ට සම්මාන දිනා ඇති මැදපෙරදිග, අප්‍රිකා, ඕස්ට්‍රේලියා සහ යුරෝපා කලාපයන්හි ක්‍රියාකාරී තරඟ සකසන්නකු වන ඉන්දියාවේ රොෂාන් නතාලියල් විසින් මෙම ජාත්‍යන්තර තරඟ සැකසීම සිදු කරනු ලබයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ සදහා අමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා.

පසුගිය දිනෙක් අතිගරු ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවක දී ක්‍රීඩා සංගම් පිළිබදව එතුමා දරණ මතය ප්‍රකාශ කලා. මම සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමා දරන්නේත් මගේ මතයම වීම සම්බන්ධව. ක්‍රීඩා සංගම්වලට වගකීමක් තිබෙනවා ඔවුන්ගේ ක්‍රීඩාව දියුණු කරන්න. සෑම සංගමයක්ම ස්ව උත්සාහයෙන් එම ක්‍රීඩාව හා ක්‍රීඩකයා රැකබලා ගත යුතුයි. එසේ නොවුනහොත් සංගම්වලින් බලාපොරොත්තු වෙන වගකීම ඉෂ්ඨ වෙන්නේ නැහැ.

අපේ රටේ ක්‍රීඩා කරන දරුවන්ට ක්‍රීඩා විෂයෙන් උපාධිය හදාරන්න අවස්ථාවක් නැහැ. අපි එම අවස්ථාව සකසා දිය යුතුයි. දියගම ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අපි කටයුතු කරගෙන යනවා. එහි දී අපේ දරුවන්ට ක්‍රීඩාවේ නියැලෙන ගමන් ම තමන්ගේ උපාධිය සම්පූර්ණ කිරීමට හැකියාව ලැබෙනවා.

පසුගිය දිනක ක්‍රීඩාව හා තරුණ කටයුතු පිළිබද ඉදිරි දැක්ම ඉදිරිපත් කිරීමේ අවස්ථාවට මගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා සහභාගී වූවා. එහිදී අපි එතුමාගෙන් ඉල්ලා සිටියා පාසල් විෂය මාලාවට ක්‍රීඩා විෂයයන් ඇතුලත් කරන ලෙසට. අපිට එතුමාගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණා. එසේ වුවහොත් අ.පො.ස. උසස් පෙළ ක්‍රීඩා විෂයන් ලෙස හැදැරීමේ අවස්ථාව ලැබෙනවා. ක්‍රීඩාව හා අධ්‍යාපනය දෙකම සමබරව පවත්වාගෙන යාමට අපේ දරු දැරියන්ට හැකි වේවි. ඉන් පසු ඔවුන් දියගම ක්‍රීඩා විශ්ව විද්‍යාලය වෙත පැමිණ ක්‍රීඩාවේ නියැලෙන ගමන් ක්‍රීඩා අංශයෙන් උපාධිය සම්පූර්ණ කිරීමට හැකි වීම වඩා වටිනවා. එම දරුවන්ගේ දෙමාපියන්ට ද එය මහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානයි.

රාජ්‍ය අංශයෙන් මෙම කටයුත්ත කර ගැනීමට අපොහොසත් වුවහොත් පෞද්ගලික අංශයෙන් හෝ විශ්ව විද්‍යාලය ආරම්භ කරීමට මම අපේක්ෂා කරනවා. එහි දී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ විශ්ව විද්‍යාලයට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා. ඔවුන්ට යම් ගාස්තුවක් අය කිරීමටත්, අපේ දරුවන්ට ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් මගේ අදහසයි. රජයේ විශ්ව විද්‍යාලයට යාමට ලකුණු මදි වූ දරු දැරියන් බොහෝ පිරිසකට මේ මගින් තම උපාධිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල කියපු පමණින් යම් සුළු කොටසක් ඒ සදහා විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. මාගේ හැගීමනම් ඔවුන් මේ පිළිබදව දරන මතය යම් අනවබෝධයක් මත කටයුතු කිරීමයි. අපේ රටේ පෞද්ලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේදී ඔවුන් සමග අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතුයි. සිසුන් බදවා ගැනීමේ දී 70% ක් මුදල් අයකර විශ්ව විද්‍යාලයට ඇතුලත් කෙරේ. ඉතිරි 30% අපේ රටේ විශ්ව විද්‍යාලය වෙත යාමට ළකුණු කිහිපයක් මදි වූ දුවා දරුවන්ට ශිෂ්‍යත්වයක් ලබා දී බදවා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙමගින් විදේශීය සිසුන් හරහා රටට ඩොලර් ලැබෙන අතර, අපේ දරුවන් විදේශ රටවලට උපාධිය ලබා ගැනීමට වැය කරන ඩොලර් රට තුල ඉතිරි වීමක්  ද සිදු වෙනවා. මේ සම්බන්ධයෙන් දැනුම්වත් නොමැති පිරිස් විරුද්ධ වීම සාමාන්‍යයි.

මෙම මාධ්‍ය හමුව සදහා DJMC ආයතනයේ සභාපති ඩන්ස්ටන් රොසයිරෝ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නියෝජනය කරමින් පැමිණි ප්‍රසාද් දළුවත්ත,  කොළඹ දිස්ත්‍රික් සංචාරක මණ්ඩලයේ සභාපති සුදත් හේවාපතිරණ යන මහත්වරු ඇතුළු වෘත්තීය බොක්සිං ක්‍රිඩකයින් පිරිසක්ද පැමිණ සිටියා.