hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 මැයි 19, පෙ.ව. 10:45



11 වැනි ආසියානු කබඩි ශූරතා තරගාවලිය සඳහා එක්වන ශ්‍රී  ලංකා ජාතික පිරිමි කබඩි කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණය ඊයේ (18) පැවැත්වීමට නියමිතව තිබුණද ක්‍රීඩා බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියාකලාපය හමුවේ එය පැවැත්වීමට නොහැකි වී තිබූ බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් 11 වැනි ආසියානු කබඩි ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායමක් එක් කිරීම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් පැවැසෙනවා.

ඒ අනුව 2023 වර්ෂයට අදාළව ශ්‍රී  ලංකා කබඩි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් හිටපු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ජාතික කබඩි සංචිතය තෝරා ගැනීම සඳහා මෙලෙස තේරීම් පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් අවසරය හිමි නොවීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

එසේ වුවත් ශ්‍රී  ලංකා කබඩි සම්මේලන නිලවරණය කැඳවා ඇති අවස්ථාවක මෙලෙස කණ්ඩායම තෝරා ගැනීම සඳහා පරීක්ෂණයක් පැවැත්වීම සිදු කළ නොහැකි බවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයකු වාචිකව ප්‍රකාශ කර තිබුණද මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා බලධාරීන් පියවර ගෙන නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී  ලංකාවට ආසියානු කබඩි සම්මේලනයේ අඛණ්ඩ සාමාජිකත්වය පවත්වාගැනීමට නම් ආසියානු කබඩි ශූරතා තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා ජාතික කබඩි කණ්ඩායම සහභාගි කරවීම අනිවාර්යයෙන් සිදු කළයුතු කටයුත්තක් බව කබඩි සම්මේලනය විසින් ක්‍රීඩා බලධාරීන්ට දැනුම් දීමට කටයුතු කර ඇති බවද දැනගන්නට තිබෙනවා.

එසේම මෙලෙස ශ්‍රී  ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට නොහැකි වුවහොත් ආසියානු කබඩි සම්මේලනයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි වන අතරම ඒ සඳහා නැවත සාමාජිකත්වය ලබා ගැනීම සඳහා දඩ මුදලක් ගෙවීමටත්, දඬුවමකට යටත් වීමටත් සිදුවනු ඇති බවට අදාළ ලිපිය මඟින් කබඩි බලධාරීන් පෙන්වාදී ඇති බවද පැවැසෙනවා.

එසේම නිලවරණ කාලසීමාව තුළ ජාතික කණ්ඩායම් තෝරාගැනීමට නොහැකි බව ක්‍රීඩා බලධාරීන් මෙතෙක් කබඩි සම්මේලනය දැනුවත් කිරීමට නිල වශයෙන් පියවර ගෙන නොමැති බවත් අදාළ ලිපියේ සඳහන්.

එමෙන්ම ජාතික කබඩි කණ්ඩායම තෝරා ගැනීම සිදු කරන්නේ ජාතික තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබූ ජාතික කබඩි තේරීම් කමිටුව විසින් බවත් ශ්‍රී  ලංකා කබඩි සම්මේලනයේ පරිපාලනයට සම්බන්ධ නිලධාරීන් විසින් තේරීම් පරීක්ෂණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම පමණක් සිදු කරන බවත් අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

ඒ අනුව ආසියානු කබඩි ශුරතා තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා ජාතික කබඩි කණ්ඩායමක් තෝරා ගෙන නාමලේඛනය කඩිනමින් ඉදිරිපත් කිරීමට සිදුව ඇති පසුබිමක අදාළ පරීක්ෂණය කබඩි සම්මේලනයේ පරිපාලනයට සම්බන්ධ නිලධාරීන්ගේ මැදිහත්වීමකින් තොරව පැවැත්වීමට කටයුතු සලසා දෙන ලෙසත් අදාළ ලිපිය මඟින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එසේ නොමැතිනම් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම යටතේ හෝ අදාළ තේරීම් පරීක්ෂණ පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස ද ඉහත කී ලිපියේ සඳහන්ව තිබෙනවා.