hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 2:04



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අතර පවතින ගැටුම මේවන විට උග්‍රවී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට දේශපාලනික බලපෑම් එල්ල වී ඇති බවට ගෙවුණු කාළයේදී විටින් විට වාර්තා වූ අතර ඒ අනුව එම තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත නැවත වරක් ගොස් තිබෙනවා.

පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ICCය විසින් ලිපියක් යොමු කරමින් මෙම තත්ත්වය පැහැදිලි කිරීමක් සිදු කර තිබෙන බව මෙරට ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ස්ථාවරයට සහ ක්‍රීඩා අමාත්‍යවරයා අනිසි ලෙස මැදිහත්වීම් සිදු වෙනවා ද යන්න සම්බන්ධයෙන් හා ශ්‍රී ලංකාව තුළදී ICCය සංවිධාන කරනු ලබන තරගාවලි ගැන ද වඩාත් අවධානයෙන් පසුවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබුණා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පවතින තත්ත්වය ගැන පැහැදිලි කරන්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පියවර ගෙන ඇත්තේ ලිපියක් යොමුකරමින්.

මෙම ලිපිය මගින් ක්‍රීඩා අමාත්‍යවරයා වර්ථමානයේ ශ්‍රී ලංකා විධායක කමිටුවට දැඩි අප්‍රසාදයක් පළ කර තිබෙන අතර එහිදි ඔහු පවසා ඇත්තේ කිසිම අයුරකින් දේශපාලනික අතපෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමාත්‍යංශය හෝ රජය විසින් සිදු කර නොමැති බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ග්‍රෙග් බාක්ලේ සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කර ඇත්තේ,
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය අක්‍රමිකතා, බලය අයුතු ලෙස යොදාගැනීම සහ නීත්‍යානුකූල නොවන ගනුදෙනු ආදිය පිලිබඳ විගණකාධිපති වාර්තාව මඟින් කරුණු ඉදිරිපත් කර ඇති බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, එහි පිටපතක් ද
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යොමු කරමිනි.

ශ්‍රී ලංකාවට සත්කාරකත්වය හිමි ව ඇති ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සහ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සඳහා දේශපාලන බලපෑමකින් තොරව පැවැත්වීමට පූර්ණ සහාය ලබාදීමට සූදානම් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ ලිපියෙන් අවධාරණය කරයි.

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පිළිවෙත අනුව සාමාජික රටවල පාලක මණ්ඩලත් දූෂණය පිටුදැකීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා යොමු කළ ලිපියේ සඳහන්ය.