hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 8:50



තමා හැමවිටම හොදින් සිතා බලා, කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සමග සාකච්ඡා කර නිවැරැදි තීරණ පමණක් ගන්නා බැවින්, පසුව ඒවා පිළිබඳව පසුතැවීමට අවස්ථාවක් උදා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ දි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

“අපි පළමු තරගයෙන් පරාජයට පත් උනාම අපි ගොඩක් පස්සට ගියා. නමුත් කණ්ඩායමේ සිටින විවිධ දක්ෂතා ඇති ක්‍රීඩකයන්ගේ හැකියාවන් භාවිතා කරමින් මෙම ජයග්‍රහණය අත් කර ගත්තා. අපිට වනිදු හසරංග, ධනංජය සිල්වා වැනි දක්ෂතා පිරි ක්‍රීඩකයන් සිටිනවා. ඒ වගේම වමතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු සිටිනවා. දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩකයන් හොද මිශ්‍රණයකින් යුතුව පන්දු යවනවා” යැයි ද දසුන් ශානක කියා සිටියා.

තවත් මාසයක පමණ කාළයකින් පසුව ඕස්ට්‍රේලියාවේ දී ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බවත් එම තරගාවලියට මෙම ජයග්‍රාහී, නවක ක්‍රීඩකයන් සමග තරග කර ජයග්‍රහණය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් දසුන් ශානක පෙන්වා දුන්නා.

මීට අමතරව භානුක රාජපක්ෂ, වනිදු හසරංග සහ චාමික කරුණාරත්න යන මෙම ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වුවා.

මෙම ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(13) අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සදහා විශේෂ සංගීත සහ නර්තන කණ්ඩායම් ගුවන් තොටුපළ වෙත කැදවා තිබූ අතර ක්‍රීඩා සහ යෞවන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එහි උප සභාපති ජයන්ත ධර්මදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසුවා.

මෙම පිළිගැනීමේ උත්සව වලින් අමතරව මෙම ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ රථ පෙළපාලියක් මගින් කොළඹ වෙත කැදවා ගෙන ඒමට පියවර ගෙන තිබූ අතර, එය දැක බලා ගැනීමට සහ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතීම සදහා කටුනායක ගුවන් තොටුපළ තුළ සහ කොළඹ දක්වා වූ මග දෙපස අති විශාල ජනතාවක් රැස් වී සිටියා. 

ටී.කේ.ජී කපිල