hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 7:03



තම කණ්ඩායමේ මීළඟ ඉලක්කය 2023 වසරේ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී ඉන් ජයග්‍රහණය කිරීම බව ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකා ගයාන්ජලී අමරවංශ මෙනෙවිය පැවසුවා.

“2018 ආසියානු දැල් පන්දු ශූරතාවය දිනූ කණ්ඩායම වශයෙන් අපි මෙම තරගාවලියට සහභාගී වුණා. ඒක අපිට ලොකු පීඩනයක්, අභියෝගයක් වුණා.” යැයි ඇය සඳහන් කළා.

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය හයසින්ත් විජේසිංහ මහත්මිය කටුනායක ගුවන් තොටුපළේ දී අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

“2005 වසරෙන් පසුව මට හමුවූ හොදම සහ කීකරුම කණ්ඩායම වුනේ මේ කණ්ඩායමයි. මෙම කණ්ඩායම වේගය අතින් ඉතා උසස් මට්ටමක සිටියා. තේරීම් කමිටුව අවස්ථා කීපයක දී කණ්ඩායම් කීපයක් මා වෙත යොමු කළා. අගෝස්තු මාසයේත් තවත් කණ්ඩායමක් යොමු කළා. මම ඔවුන් සමග ඉතා අසීරුවෙන් තරග කරලා මේ ජයග්‍රහණය ලබා ගත්තා. බොහෝ අවස්ථා වලදී කණ්ඩායමේ නව දෙනෙකු පමණයි ක්‍රීඩා කළේ.”

“ඒ වගේම තර්ජනී ශිවලිංගම් ඉදිරි කාළයේ අපෙන් සමු ගත්තොත්, අපේ කණ්ඩායමට වන දේ සිතා ගැනීමටත් අපහසුයි. හේතුව දෙවන පෙළ ක්‍රීඩා කණ්ඩායමක් හැදිල නැහැ. මම මේ පිළිබඳව දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය සමග ද දීර්ඝ වශයෙන් අවස්ථා කීපයකදීම සාකච්ඡා කළා” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවා.

මෙම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අදහස් දක්වමින් අපේ රට ලෝකයෙන් හුදෙකලා වී තිබූ අවස්ථාවක , රටට මහත් කීර්තියක් අත් කර දෙමින් , නැවත ලෝකය සමග ඉදිරියට යාමට අවස්ථාවක් උදා කර දී ඇති බව සදහන් කළේය .

සිංගප්පූරුවේ පැවති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේ දී , එහි ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද(13) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සදහා මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් මෙන්ම ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ජාතික දැල් පන්දු ෆෙඩරේෂනයේ සභාපති ලක්මි වික්ටෝරියා මහත්මිය ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

ටී.කේ.ජී කපිල