hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 27, පෙ.ව. 1:07



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග බැංගලෝරයේදී පැවැති තරගයෙන් කඩුලු 8ක වටිනා ජයග්‍රහණයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම ජය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන තැන දක්වා ඉදිරියට පැමිණියා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තයට පන්දුවාර 33.2කදී සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක්.

බෙන් ස්ටෝක්ස් ලකුණු 43ක් ද ජොනී බෙස්ට්‍රෝව් ලකුණු 30ක් ද ලබා ගත්තා.

ලහිරු කුමාර ලකුණු 35කට කඩුලු 3ක් ද කාලයකට පස්සේ පන්දු යෑවූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14කට කඩුලු 2ක් ද ,කසුන් රාජිත ලකුණු 36කට කඩුලු 2ක් ද හා මහීෂ් තීක්ෂණ ලකුණු 21කට එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 25.4කදී කඩුලු 2ක් දැවී ලකුණු 160ක් ලබා තරගය ජය ගත්තා.

සදීර සමරවික්‍රම පන්දු 54කින් නොදැවී ලකුණු 65ක් ද පැතුම් නිස්සංක පන්දු 83කින් නොදැවී ලකුණු 77ක් ද ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම 1999 ලෝක කුසලානයෙන් පසුව එංගලන්තය හමුවේ පරාජය වූයේ නැහැ.

එංගලන්තය තරග 4ක් පරාජය වී ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ සිටින අතර ඔවුන්ට අවසන් පූර්ව වටයට යන්නට ඉතා අල්ප අවස්ථාවක් ඉතිරිව තිබෙනවා.