hit counter

2025 ඔක්‍තෝබර් මස 20 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:48



කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවති සාකච්ඡාවකදී තමන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මත්පැන් නිශ්පාදනාගාර බලපත්‍රයක් ලබාදීමේ ඩීල් එකකට සම්බන්ධ වූ බවට පලවන වාර්තා අසත්‍ය බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

රටේ ආර්ථිකයට ආයෝජකයින් සම්බන්ධ කරගැනීම හා ඔවුන් නිවැරදිව රජය හා සම්බන්ධ කරවීම තම වගකීමක් හා යුතුකමක් ලෙස සලකන බවද හෙතෙම කියා සිටී.

මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බවත් ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් පළ කරමින් කියා සිටී.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ හිටපු පලාත් සභා මන්ත‍්‍රී වරුන රාජපක්‍ෂ මහතා තම සමාජ ජාල ගිණුමේ පල කර තිබූ වීඩියෝවක හෙලිදරුවුවකට ප‍්‍රතිචාර ලෙසයි.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන පහතින්,

පසුගිය 16වැනිදා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කළ වොයේජ් ඉන්ටනැෂනල් 2025 සමුළුව කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදි පැවැත්විණි. කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මා එයට සම්බන්ධ වුනෙමි.

සමුළුව පැවැත්වෙන අතරවාරයේ දි විවිධ අවස්ථාවලදි පාර්ලිමේන්තු මන්ත්‍රි නජිත් ඉන්දික සහ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය වන මා හා ආයෝජකයින් පාර්ශ්ව තුනක් කොළඹ කිංස්බරි හෝටලයේදි හමු වුනෙමු.

එක් පාර්ශ්වයක් ලුණු කර්මාන්තය වෙනුවෙන් උනන්දුවක් දැක් වූ අතර, කෝස්ටික් සෝඩා කර්මාන්තය සඳහාත් ආයෝජනය කිරීමට අදහස් කරන බව පවසා සිටියා.

ඒ අනුව ඔවුන්ගේ ආයෝජන අවශ්‍යතාව ඵල දරාගැනීමට අදාළ ව්‍යාපෘති පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහ පරන්තන් රාසායණික සමාගමේ සභාපති වෙත යොමු කළා.

දෙවැනි පාර්ශ්වයේ අරමුණ වූයේ ධීවර කර්මාන්තයට අනුබද්ධ ශීතාගාරයකට (Cold Store) ආයෝජනය කිරීම. ඔවුන්ගේ අදහස ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂක වෙත යොමු කළ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදි විවෘත දැන්වීමක් පළ කෙරෙන බව අමාත්‍යංශ පාර්ශ්වයෙන් දැනුම් දුන්නා.

තුන්වැනි පාර්ශ්වය උනන්දුවක් දැක්වූයේ රජයේ ගොඩනැගිලි හා සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙනුයි.

ඒ සම්බන්ධව ඉදිරි දිනවලදි පළාත් පාලන ආයතන හරහා ප්‍රසිද්ධ දැන්වීම් පළකරනු ඇතැයි ඔවුන්ට දැනුම් දුන්නා.

මේ අතර වරුණ රාජපක්ෂ නම් වූ පුද්ගලයෙක් යූටියුබ් නාලිකාවක් හරහා මා සහ නජිත්, මත්පැන් නිෂ්පාදනාගාරයක් සඳහා බලපත්‍රයක් ලබාදීමේ ‘ඩීල්’ එකකට කිංග්ස්බරි හෝටලයෙදි සම්බන්ධ වී ඇති බව සහ තවත් තොරතුරු හෙලිදරවු කර තිබුණා.

එහිදී අප හමු වූ ආයෝජකයින් අතර එවැනි කතාබහක් සිදු නොවූ අතර එවැනි බලපත්‍රයක් ලබාදීමට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මාහට නීතිමය බලයක් නොමැති අතර පාර්ලිමෙන්තු මන්ත්‍රි නජිත් ඉන්දිකටද මා දන්නා තරමින් එවන් බලයක් නෑ.

රටේ ආර්ථිකය වෙනුවෙන් ආයෝජකයින් සම්බන්ධ කරගැනීම සහ ඔවුන්ව නිවැරදි රාජ්‍ය යාන්ත්‍රනය හා සම්බන්ධ කරවීම මාගේ වගකීමක් සහ යුතුකමක් ලෙස සලකන අතර ඉදිරියේදි යම් පාර්ශ්වයකට නිෂ්පාදන බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය වේනම් ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නෛතික ක්‍රියාවලින්ට අනුකූලව ඔවුන්ව නියමිත ක්‍රියාපටිපාටිය හා සම්බන්ධ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට පසුබට නොවෙමි.

වරුණ රාජපක්ෂ නැමැත්තා චෝදනාත්මක ස්වරූපයෙන් අප වෙත ‘ඩීල්’ ‘වල් පැළ’ වැනි සන්නාමන ආරූඩ කිරීමට උත්සාහ කළද, මේ රට ඉහළට ඔසවා තැබීමට දරණ උත්සාහයට එවැනි සම්ප්‍රප්පලාප බාධාවක් කරනොගන්නා බවටත් දන්වා සිටීමට කැමැත්තෙමු.

එසේම මෙවැනි පදනම් විරහිත චෝදනා සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට දෙවරක් නොසිතන බවත් සිහිකැඳවන්නෙමු.

චතුරංග අබේසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: