2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:11
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් (LTL) ආයතනය, රජයේ විගණනයෙන් මිදීම සඳහා සිය කොටස් ව්‍යුහය සූක්ෂම ලෙස වෙනස් කර ඇති ආකාරය පිළිබඳව පාර්ලිමේන්තුවේ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අනාවරණය විය. රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස ආරම්භ වුවද, ලංකා විදුලිබල මණ්ඩලය සතු කොටස් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කරමින්, රජයේ විගණනයට භාජනය නොවී සිටීමට LTL ආයතනය ක්‍රියා කර ඇති බවට කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පැවසීය.
එහිදී කෝප් කමිටුව හමුවේ කරුණු දක්වමින් LTL නිලධාරීන් ප්‍රකාශ කළේ, ආයතනයේ කොටස් බහුතරය මේ වන විට පෞද්ගලික අංශය සතු බැවින් රාජ්‍ය විගණනයක් අවශ්‍ය නොවන බවයි. ඔවුන් තම ආයතනය මගින්ම අභ්‍යන්තර විගණනයක් සිදුකරන බව පෙන්වා දෙමින්, රජයේ විගණනය මගහැරීමට දැඩි උත්සාහයක නිරත වූ අතර, ලංකා විදුලිබල මණ්ඩලය සතු කොටස් ප්‍රතිශතය 70% සිට 35% දක්වා අඩු වී ඇති බවද කියා සිටියේය.
මෙම ක්‍රියාවලියේදී, LTL ආයතනයේ කොටස් සේවකයින් සහ වෙනත් පුද්ගලයින් අතර බෙදී ගිය ආකාරය පිළිබඳව කෝප් කමිටු සාමාජිකයින් වන චන්දිම හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ විශේෂ අවධානය යොමු විය. එහිදී හෙළි වූයේ, සමාගම් පනතේ නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා, පුද්ගලයින් කිහිප දෙනෙකුට එක් කොටස බැගින් ලබා දී සමාගම ලියාපදිංචි කර ඇති බවයි. මෙම පැහැදිලි කිරීමත් සමග, සමාගම පිහිටුවීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට සැක මතු විය.
කමිටුව තුළ තත්ත්වය තවදුරටත් උණුසුම් වූයේ, 1996 වසරේදී තමන් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේද යන්න සභාපතිවරයා විමසූ විට, පිළිතුරු දුන් ප්‍රධාන නිලධාරියෙකු තමන්ට එය “මතක නැහැ” යනුවෙන් පිළිතුරු දීමත් සමගය. පසුව ඔහු ආයතනයට සම්බන්ධ වූයේ 1997 දී බව සඳහන් වීමත් සමග, කෝප් කමිටු සභාපතිවරයා දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින්, “මේක විහිළුවක් කරගන්න එපා. මේක පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව. ඔබතුමා ආයතනයට සම්බන්ධ වුණු දවසවත් දන්නේ නෑ. මෙය කෝප් කමිටුවට කරන සෘජු අපහාසයක්,” යනුවෙන් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, කෝප් කමිටුව විසින් සිදුකළ විමර්ශනයේදී තීරණාත්මක කරුණක් අනාවරණය විය. එනම්, LTL ආයතනයේ කොටස් ලබාගත් සමහර පෞද්ගලික සමාගම්වල කොටස්, පසුකාලීනව නැවත මහා භාණ්ඩාගාරය සතු වීම හේතුවෙන්, වක්‍රාකාරව LTL ආයතනයේ 52%ක කොටස් හිමිකාරීත්වයක් තවමත් රජය සතු වන බවයි.
ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් (LTL) ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ විමර්ශනය උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබූ අතරවාරයේ, ඊට සහභාගී වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් මතු කරන ලද කරුණක් හේතුවෙන් කමිටුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තේය. ඔහු ප්‍රකාශ කළේ, අදාළ ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි ක්‍රියාවක් බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශයත් සමගම, කමිටුවට සහභාගී වී සිටි අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. ඔවුන් පෙන්වා දුන්නේ, කෝප් කමිටු විමර්ශනය ආරම්භයේදීම සභාපති නිශාන්ත සමරවීර මහතා විසින් මෙම සමාගම කැඳවීමට අදාළ නීතිමය පදනම ඉතා පැහැදිලිව විස්තර කළ බවයි. එබැවින්, සාකච්ඡාව අතරතුර පැමිණ මෙවැනි බාධා කිරීම් සිදු නොකරන ලෙස එම මන්ත්‍රීවරු චමින්ද විජේසිරි මහතාගෙන් ඉල්ලා සිටියහ.
මෙම අවස්ථාවේදී, චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සහ අනෙකුත් මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු විය. තත්ත්වය සමථයකට පත් කිරීමට උත්සාහ කළ කෝප් කමිටු සභාපතිවරයා, නැවත වරක් කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා නැවතත් සාකච්ඡාවෙන් අතරමග නැගිට පිටව යාම විශේෂ සිදුවීමක් විය.
කෙසේවෙතත් අවසානයේදී LTL ආයතනය තවදුරටත් රජයේ සෘජු විගණනයට යටත් විය යුතු බවට කෝප් කමිටුව තීරණය කළේය. ඒ අනුව, LTL ආයතනය ලංකා විදුලිබල මණ්ඩලයේ උප පරිපාලිත ආයතනයක් ලෙස සලකා, වහාම ක්‍රියාත්මක වන පරිදි විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් කර, ඒ පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට නියෝග කරන ලදී.
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:25
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:49
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:46
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:30
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 12:43
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25