2025 නොවැම්බර් 21, ප.ව. 2:44
යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව විසින් ගෙනෙන ලද සාම යෝජන පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.
ඊයේ වීඩියෝ මගින් ප්‍රකාශයක් කළ ඔහු එම යෝජනා තමන් වෙත ලැබුණේ යැයි තහවුරු කළා.
කරුණු 28 කින් සමන්විත මෙම යූජනාවලිය පිළිබඳව මුලින්ම වාර්තා වූ අවස්ථාවේ යුක්රේනය මෙන්ම යුරෝපා රටවල් ද ඒ පිලිබඳව මවිතය පළ කළා. එහි අඩංගු කරුණු මේ වනවිට හෙළිවී ඇති අතර එහි ඇතැම් කරුණු කෙරෙහි යුක්රේනයේ විරෝධය පළවී තිබෙනවා.
මෙම යෝජනාවලිය මගින් යුක්රේනයේ ස්වෛරීභාවය ආරක්ෂා කෙරෙන බවත් එරටට ඇමරිකාව විසින් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලබාදෙන බවත් සඳහන් ව තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වන ඇක්සියෝස් වෙබ් අඩවිය කියා සිටියේ වසර 10 ක් ගතවනතුරු නේටෝ ගිවිසුමේ 5 වන වගන්තියට සමාන ආරක්ෂාවක් යුක්රේනය වෙත ලබාදීමට ඇමරිකාව කැමැත්ත පළකර ඇති බවයි.
මේ අතර යුක්රේනයේ සන්නද්ධ හමුදාව 600,000 ක් දක්වා සීමා කළ යුතු අතර එරටට න්‍යෂ්ටික අවි තබාගත නොහැකියි. නේටෝ රටවල හමුදාවන්ට යුක්රේනයට ඇතුල් වීමේ අවසරය හිමිවන්නේ නැහැ.
යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ නැතැයි ද නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි ද එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කළ යුතු වනවා. නේටෝ සංවිධානය ද යුක්රේනය තම සංවිධානයට කෙදිනකවත් බඳවාගන්නේ නැතැයි සහතිකයක් ලබාදිය යුතුයි.
රුසියාව ද යුක්රේනයට හෝ යුරෝපයට ආක්රමණකාරී ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවට නෛතික ප්‍රතිඥාවක් ලබාදිය යුතු යැයි මෙම යෝජනාවලියේ සඳහන්.
රුසියාව සහ නේටෝ සංවිධානය අතර ගැටලු නිරාකරණය කරගැනීමට සාකච්ඡා පැවැත්විය යුතු අතර ඇමරිකාව එහිදී මැදිහත්කරු ලෙස කටයුතු කරනවා. මීට අමතරව ඇමරිකානු සහ රුසියානු ආරක්ෂක සබඳතා පිළිබඳ ක්‍රියාකාරී කමිටුවක් පත්කළ යුතු යැයි ද සඳහන්.
රුසියාව ගෝලීය ආර්ථික ප්රවාහයට ක්‍රම ක්‍රමයෙන් ඇතුල් කරගැනෙන අතර සම්බාධක ක්‍රමයෙන් ඉවත් කෙරෙන බව ඇමරිකාව පවසනවා. එමෙන්ම රුසියාව නැවත G7 එකමුතුවට එක්කරගෙන එය G8 බවට යළිත් පත්කෙරෙනු ඇති.
යුක්රේනය නැවත ගොඩනැගීම උදෙසා ඇමරිකාව සහ යුරෝපය විසින් වේගවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ඇති. යුරෝපයේ මේ වනවිට අවහිර කර ඇති රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 100 ක් ඒ සඳහා යොදවන අතර තවත් ඩොලර් බිලියන 100 ක් යුරෝපය විසින් ලබාදෙනවා. එම වැඩසටහනේ ලාභයෙන් සියයට 50 ක් ඇමරිකාවට හිමිවිය යුතු යි.
දැනට අවහිර කර ඇති ඉතිරි රුසියානු වත්කම් ද නිදහස් කෙරෙන අතර ඒවා ඇමරිකානු – රුසියානු ඒකාබද්ධ ව්‍යාපෘති සඳහා යෙදවෙනු ඇති.
දන් යෙත්ස්ක්, ලුහාන්ස්ක් සහ ක්රිමියාව සිද්ධි කරුණක් ලෙස (de facto) රුසියාවට අයත් ප්‍රදේශයන් වශයෙන් පිළිගැනෙනු ඇති. ඒ සඳහා නෛතික පිළිගැනීමක් (de jure) ලබාදීම අවශ්‍ය වන්නේ නැතැයි සඳහන්. මේ අනුව දන්යෙත්ස්ක් පළාතේ දැනට යුක්රේනය යටතේ වන ප්‍රදේශයන් වෙතින් එරට හමුදා ඉවත්වනු ඇති. එම ප්‍රදේශ යුධ මුක්ත කලාපයක් ලෙස සැලකෙන අතර රුසියානු හමුදාවන්ට ඊට ඇතුල් වීමේ අවසර නැහැ.
සපරෝශියා සහ හර්සොන් පළාත්වල සීමා දැනට පවතින අයුරින් තැබෙනු ඇති. සපරෝශියා න්‍යෂ්ටික බලාගාරයේ කටයුතු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය අධීක් ෂණය යටතේ යළි ඇරඹෙන අතර එහි නිපදවෙන විදුලිය රුසියාව සහ යුක්රේනය අතර 50/50 ලෙස බෙදාගැනීමට නියමිතයි.
එකිනෙකාගේ භාෂාව සහ සංස්කෘතීන්ට ගරු කරන ආකාරය ඉගැන්වෙන විශය කොටස් දෙරටේ අධ්‍යාපනයට එක්විය යුතු යැයි ද ප්‍රකාශ කෙරෙනවා.
යුද්ධයෙන් වෙන් වූ පවුල් නැවත එක් කිරීම සහ ඔවුනට ගම් බිම් කරා යාමට අවස්ථාව සැලසීම සිදුවිය යුතු වන අතර යුද්ධයට සම්බන්ධ වූ සියල්ලන්ට පොදු සමාවක් ලැබෙනවා.
සාම වැඩපිළිවෙල අධීක්ෂණය සඳහා සාම කවුන්සිලයක් පිහිටුවීමට අපේක්ෂා කෙරෙන අතර එහි ප්‍රධානියා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරනු ඇති.
මෙම යෝජනාවලියෙහි භූමිය පිළිබඳ කරුණ ආදී ඇතැම් කරුණු කෙරෙහි යුක්රේනයේ විරෝධය මතුව ඇතැයි වාර්තා වනවා. යුක්රේන භූමිය කිසි ලෙසකින්වත් රුසියානු භූමියක් සේ පිළිනොගන්නා බව එක්සත් ජාතීන්ගේ යුක්රේන නියෝජිතවරිය සඳහන් කළා.
කෙසේ වෙතත් ඇමරිකාව මෙම යෝජනා සඳහා කඩිනම් යුක්රේන අනුමැතිය බලාපොරොත්තු වනවා. නොවැම්බර් 27 වනවිට යුක්රේනයේ කැමැත්ත ට්‍රම්ප් අපේක්ෂා කරන්නේ යැයි ෆයිනෑන්ශල් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා. මුලින් ඇමරිකානු – යුක්රේන එකඟත්වය ඇතිකරගෙන ඉන්පසු යෝජනාවලිය රුසියාව වෙත ඉදිරිපත් කෙරෙනු ඇති. දෙසැම්බරය වනවිට සම්පූර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වන්නේ යැයි සඳහන්.
2025 නොවැම්බර් 19, පෙ.ව. 11:38
2025 නොවැම්බර් 17, ප.ව. 5:31
2025 නොවැම්බර් 17, ප.ව. 2:41
2025 නොවැම්බර් 17, ප.ව. 2:39
2025 නොවැම්බර් 17, ප.ව. 1:10