hit counter

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු 17, ප.ව. 3:52



භාරත ලක්ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර ඝාත­න­යට වර­ද­ර­කරු වී මරණ දඬු­වම හිමිව සිටින හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට තමා හද­ව­තින්ම සමාව දුන් බව සමගි ජන බල­වේ­ගයේ රත්ම­ලාන ආස­නයේ සංවි­ධා­යිකා, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය ඊයේ (16දා) ප්‍රකාශ කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ කොළඹ අලු­ත්කඩේ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට පැමිණි අව­ස්ථාවේ මාධ්‍ය කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමිනි.

කොළඹ මහා­ධි­ක­ර­ණය විසින් වැරැ­දි­ක­රු­වකු කර ඇති ආර්. දුමින්ද සිල්වාට මරණ දඬු­ව­මින් ගැල­වීමේ හැකි­යා­වක් ඇත්තේ ජනා­ධි­පති සමාව යටතේ පම­ණක් බව ප්‍රකාශ කළාය. තමන්ට එවැනි හැකි­යා­වක් නොමැති බැවින් තමන් ඔහුට හද­ව­තින් සමාව දුන් බව ඇය කියා සිටි­යාය.

වර්ත­මා­නය වන විට තමන් දැඩි ලෙස කර්මය විශ්වාස කර­න්නට පෙලඹී ඇති බව ඇය පැව­සු­වාය. ජනා­ධි­ප­ති­ව­රයා හා ආණ්ඩුව කට­යුතු කරන ආකා­රය අනුව ඔවුන් ද කර්මය විශ්වාස කරන බවට තමන්ට විශාල විශ්වා­ස­යක් ඇතැයි ඇය පෙන්වා දුන්නාය.

මේ ගැන වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇය ‘වපු­රන දේවල් අනුව අස්වැන්න’ ලැබෙන බව කීය. පියා ඝාත­නය කිරී­මෙන් පසු දුමින්ද සිල්වා හා තමා අතර පැවැති වෛරී චක්‍රය තව­දු­ර­ටත් පැවැ­තිය යුතු නැති බව හිරු­ණිකා ප්‍රේම­චන්ද්‍ර මහ­ත්මිය ප්‍රකාශ කළාය.

ආර්. දුමින්ද සිල්වාට හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රදා­නය කළ ජනා­ධි­පති සමාව ආපසු කැඳ­වී­මට හැකි වූයේ එය නිසි පරිදි ප්‍රදා­නය නොකි­රීම නිසා බව ප්‍රකාශ කළ ඇය, වර්ත­මාන ජනා­ධි­ප­ති­ව­රයා එවැනි වැරැදි තීර­ණ­යක් ගනී යැයි තමා නොසි­තන බව කියා සිටි­යාය. ජනා­ධි­පති සමාව ආපසු කැඳ­වීම හැර තමන්ට පියා වෙනු­වෙන් කිරී­මට වෙනත් කිසි­වක් නැති බව ඇය වැඩි­දු­ර­ටත් පැව­සු­වාය. දුමින්ද සිල්වා සම්බ­න්ධ­යෙන් ඉදි­රියේ කුමන තීන්දු­වක් ලැබු­ණත් ඉන් තමන්ට සන්තෝ­ෂ­යක් හෝ කන­ගා­ටු­වක් නොමැ­තිය යන්න ඇගේ අද­හස විය.

කොළො­න්නාවේ දේශ­පා­ලන ගැටුම ඉදි­රි­යට පැව­තු­ණ­හොත් ඉන් තමන්ගේ ඊළඟ භව­යට ද අකු­සල් රැස්වන බව ඇය පැවැ­සීය. මේ සිද්ධිය ඔස්සේ තව­දු­ර­ටත් මාන­සි­කව ඇලී ගැලී සිටීම සිය මාන­සික හා ශාරී­රික සෞඛ්‍ය­යට අන­වශ්‍ය බරක් බව ඇය පැව­සු­වාය. එබැ­වින් එම බැඳී­ම්ව­ලින් මිදීම ඇගේ අර­මුණ බව ප්‍රකාශ කළාය. දුමින්ද සිල්වා සමඟ ගොඩ­නැඟී ඇති මිත්‍ර­ත්වය ආණ්ඩු­වට එරෙ­හිව ගොඩනැ‍ඟී ඇති විරුද්ධ පක්ෂ සන්ධා­නයේ දිගු­වක් දැයි මාධ්‍ය විමසා සිටි අව­ස්ථාවේ ඇය කියා සිටියේ, ඔවුන්ගේ පවු­ලට අයත් මාධ්‍ය ජාලය සමඟ තමන්ට කිසිම දේශ­පා­ලන ඩීල් එකක් නොමැති බවයි. “දුමි­න්දට මම සමාව දුන්නේ මුදල් නිසා නෙමෙයි, පියාගේ මර­ණ­යෙන් පසු මගේ ජීවි­තයේ ඇතිවූ හිස් තැන කාට­වත් පුර­වන්න ලැබුණේ නැහැ. ජීවි­ත­ය­කින් වන්දි ගෙව්වත් මට නැවත ඒ ජීවි­තය ලැබෙන්නෙ නැහැ” යැයි ඇය කිව්වාය.

මෙම සමාව දීම පිටු­පස කිසිදු මුදල් හෝ දේශ­පා­ලන ගනු­දෙ­නු­වක් නොමැති බව ඇය අව­ධා­ර­ණය කළාය. තමන් ඔහුට සමාව දුන්නේ මුදල් නිසා බවට සමාජ මාධ්‍යයේ පළව ඇති චෝදනා දේශ­පා­ලන අනා­ථ­යන්ගේ ප්‍රකාශ බව ඇය පෙන්වා දුන්නාය.

2011 වසරේ කොළො­න්නාවේ දී භාරත ලක්‍ෂ්මන් ප්‍රේම­චන්ද්‍ර හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රයා ඇතුළු සිව් දෙනෙ­කුට වෙඩි තබා ඝාත­නය කළ බවට වර­ද­කරු වී මරණ දණ්ඩ­නය නියම වූ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා 2021 වසරේ ජුනි 24දා ජනා­ධි­පති පොදු සමා­වක් ප්‍රදා­නය කර නිද­හස් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: