hit counter

2026 සැප්‍තැම්‍බර් මස 07 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:10



සමාජ මාධ්‍ය භාවිතය තුළදී කුඩා දරුවකු, අසරණ වූවකු හෝ කාන්තාවක ඉලක්ක කරගනිමින් සිදුවන ඇතැම් ප්‍රකාශ දෙස බලන විට සංස්කෘතික මිනිසකුගේ අවශ්‍යතාව මැනවින් පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ, ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ පැවැති ‘ගම්පහ සාහිත්‍ය උළෙල’ (GAMLIT 26) හි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සංස්කෘතික මිනිසා යනු පොතපතේ දැනුම පමණක් ඇති හෝ කටපාඩමින් යමක් ඉදිරිපත් කරන අයකු නොවන බවත්, සාහිත්‍ය නිර්මාණ තුළින් තම අභ්‍යන්තරය පරිවර්තනීය වෙනසකට ලක් කරගනිමින් මානුෂීය සංවේදීබව සමාජයට මුදාහරින තැනැත්තකු බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එවැනි පරිවර්තනීය වෙනසක් හා සංවේදීබවක් සහිත සංස්කෘතික මිනිසකුගෙන් වෙනත් කිසිදු තැනැත්තකුට අවමානයක්, හිත් රිදවීමක් හෝ අගෞරවයක් සිදු වන්නේ නැත.

එහිදී තවදුරටත් අදහස් පළ කළ, හරිනි අමරසූරිය සඳහන් කළේ මහ නගර සභාවක් විසින් මෙවැනි සාහිත්‍ය උළෙලක් සංවිධානය කිරීම සමස්ත රටටම ආදර්ශයක් බවය.

මෙම උළෙලේ තේමාව වන ‘සංස්කෘතික පුරවැසියකු සොයා යෑම’ ඉතා කාලෝචිත වන අතර, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ද සංස්කෘතික මිනිසකු බිහි කිරීමේ අරමුණ අන්තර්ගතව තිබෙන බව ඇය සඳහන් කළාය.

රටේ ආර්ථිකය ගොඩනැගීම, යටිතල පහසුකම් දියුණු කිරීම සහ ආයතන ශක්තිමත් කිරීම සේම පරිවර්තනීය මිනිසකු බිහි කිරීම ද රජයේ ප්‍රධාන අරමුණක් වන බවත්, පරිවර්තනීය ගමන ආරම්භ කර වසර දෙකක් සපිරෙන මෙම මොහොතේ එම වගකීම ඉටුකිරීමට මෙවැනි පියවර ගැනීම අතිශය වැදගත් වන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: