hit counter

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46



තමන් සාමාන්‍ය පෙළ විභාගයෙන් විද්‍යා විෂය ධාරාව හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍යයකු වුවද, උසස් පෙළ විභාගය සඳහා වාණිජ සහ කලා යන අංශ දෙකෙන්ම සූදානම් වී අවසානයේ එම අංශ දෙකෙන්ම විභාගයට පෙනී නොසිටි අයෙකු බව ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.

තමාගේ අතීත අධ්‍යාපන අත්දැකීම් ආවර්ජනය කරමින් ඒ මහතා කියා සිටියේ, එදා මෙන්ම අදටත් පොළොන්නරුව වැනි දුෂ්කර පළාත්වල දරුවන්ට සාධාරණ අධ්‍යාපනයක් ලැබීමට ඇති අවස්ථාව ගුරුවරුන්ගේ හිඟය ඇතුළු විවිධ ගැටලු නිසා සීමා වී ඇති බවයි.

එමෙන්ම, සිංහල දෙමළ, මුස්ලිම් හෝ පිරිමි සහ බාලිකා ලෙස පාසල් වෙන් කර පවත්වාගෙන යාම තේරුමක් නැති ක්‍රියාවක් බව පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳව සිය විවේචනය ඉදිරිපත් කරමින් ඩඩ්ලි සිරිසේන මහතා අවධාරණය කළා.

අධ්‍යාපනය ලබා දීමේදී ජාතිය හෝ ආගම අනුව මොළය කොටස්වලට බෙදා වෙන් කළ නොහැකි බවත්, දරුවන් සියලු දෙනා එකට අධ්‍යාපනය ලැබිය යුතු බවත් ඔහු පෙන්වාදෙනවා.

දරුවන් එකට සිටිය යුතු බව පැවසූ ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වාදෙන්නේ, තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය සමාජ දැනුම, ආදර්ශය සහ ප්‍රායෝගිකත්වය ලබාගත හැකි හොඳම තැන  පාසල් බවත්  එය වෙනත් කිසිදු තැනකින් ලබා ගැනීම අතිශය අපහසු බවයි.

ජාති, ආගම් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දරුවන් එකට හැදෙන වැඩෙන අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය බවත්, එවැනි අභියෝගාත්මක වෙනසක් සඳහා පෙනී සිටීමට තමා සූදානම් බවත් ඩඩ්ලි සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: