hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි 05, ප.ව. 2:31



මුස්ලිම් අන්තවාදී කටයුතු සඳහා මෙරටින් බැහැරව ගිය වහබ්වාදීන් තිස් දෙදෙනා පිළිබඳව තමන්  මුලින්ම කරුණු අනාවරණය කරගත්තේ එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සිදු කළ කරුණු දැක්වීමකින් (Presentation) බවත්, පසුව එම තොරතුරු සුරේෂ් සලේ මහතාගෙන් තහවුරු කරගත් බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

රූපවාහිනී නාලිකාවක ඊයේ (04) පැවති දේශපාලන වැඩසටහනකදී ඔහු මේ බව  සඳහන් කළා.

එවකට ජනාධිපති නිල නිවසේ පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී නිලන්ත ජයවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් පිළිබඳව සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව තමා තුළ විශාල සැකයක් මතු වූ බව විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එම අවස්ථාවේදී මතු වූ සැකය මත පදනම්ව තමා විසින් කරන ලද ගවේෂණයකදී වහබ්වාදීන් තිස් දෙදෙනෙකු මෙරටින් බැහැරව ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ අතර, පසුව එවකට මැලේසියාවේ සිටි සුරේෂ් සලේ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී එම තොරතුරු තහවුරු කරගත් බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම  පාස්කු ප්‍රහාරය මෙහෙයවීමට රිශාර්ඩ් බදුර්දීන් සහ හිස්බුල්ලා යන අය සම්බන්ධ බවත්, මෙම ත්‍රස්තවාදීන් ආරක්ෂා කිරීමට මුජිබර් රහුමාන්  සහ අසාද් සාලි යන පිරිස මැදිහත් වූ බවටත් තමා එදා සිදු කළ ප්‍රකාශයන් අදටත් නොවෙනස්ව පවතින බව විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා.

ඔහු පවසන්නේ, එම ප්‍රකාශය සිදු කළේ අදාළ පුද්ගලයන් මෙම තොරතුරු දැනගෙන ඒවා වසන් කරන බවට වූ පූර්ණ නිගමනය මත පදනම්ව බවයි.

එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී ඔවුන්ට එරෙහිව නඩුවක් ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තමා සතුව නොතිබුණද, ඔවුන් එම තොරතුරු ප්‍රතික්ෂේප කරමින් තමාට පහර දුන්නේ අදාළ ත්‍රස්තවාදීන් රකින පදනමේ සිට බවට තමා විශ්වාස කළ බව විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා සිය විශ්‍රාම යන දිනයේදී මහ මොළකරුවෙකු පිළිබඳව සිදු කළ ප්‍රකාශය සිය ධුර කාලය දීර්ඝ කර ගැනීමට නොහැකි වූ නිසා සිදු කරන ලද්දක් බව විජයදාස රාජපක්ෂ මහතා අනාවරණය කළා.

පාස්කු ප්‍රහාරයෙන් පසු පොලිසිය නිසි පරිදි විමර්ශන ආරම්භ කර නොතිබූ අතර, තමා විසින් පොලිස් ස්ථාන පහකට ලිඛිතව කළ පැමිණිලිවලින් පසුව ප්‍රථම වරට අධිකරණයට කරුණු වාර්තා කිරීමට එනම් B වාර්තා ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත් බවද ඔහු පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: