hit counter

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි 13, පෙ.ව. 12:17



පෙර පැවති රජයන් මෙන් නොව, වත්මන් විදුලි ගාස්තු සංශෝධනය මගින් මෙරට අති බහුතරයක් වූ පාරිභෝගික ජනතාවට උපරිම සහනයක් ලබා දීමට රජය කටයුතු කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලසීමාවන්හි සිදු වූ විදුලි බිල ඉහළ දැමීම්වලදී, ආර්ථික වශයෙන් අසීරු මට්ටම්වල සිටි ජනතාව, ස්වයං රැකියාවල නියුක්ත වූවන් සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් පවා දැඩි පීඩාවට පත් වූ බවයි. 

එහෙත් මෙවර මිල වැඩි කිරීමේදී එම ජන කොටස් වෙත බරක් නොවන අයුරින් කටයුතු කිරීමට රජය වගබලා ගෙන ඇති බව ඔහු අවධාරණය කළේය.

විශේෂයෙන්ම මසකට විදුලි ඒකක 180ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කිසිදු පාරිභෝගිකයෙකුට මෙවර මිල වැඩිවීම බල නොපාන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙරට සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් 95%ක්ම සිටින්නේ මෙම ඒකක 180 සීමාවට යටින් වන බැවින්, මෙරට ජනතාවගෙන් 95%කටම මෙම මිල සංශෝධනයෙන් කිසිදු බරක් පටවා නොමැති බවත්, ගාස්තු වැඩිවීම අදාළ වන්නේ ඉතිරි 5%ක පිරිසට පමණක් බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.

ඛනිජ තෙල් යොදා ගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම රජයේ විදුලි හා බලශක්ති සමාගම්වලට විශාල පාඩුවක් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම රාජ්‍ය සමාගම් ජනතාව සතු සම්පත් වන බැවින් ඒවා ආරක්ෂා කර ගැනීම රටේම වගකීමක් බව පැවසීය. 

ඒ අනුව, ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කරන අතරම රාජ්‍ය ආයතන ද පාඩු නොලබන තත්ත්වයට කළමනාකරණය කර සුරැකෙන පරිදි මෙම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: