hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2026 මැයි 16, ප.ව. 4:45



රජය විසින් අලුතින් පනවන ලද බදු සංශෝධන නිසා ඉදිරියේදී මෙරට වෙළඳපොළේ වාහන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව විශේෂයෙන්ම දැනට රුපියල් මිලියන 10ක (ලක්ෂ 100ක) පමණ මිලකට අලෙවි වන වාහනයක මිල, මෙම නව බදු ක්‍රමයත් සමඟ තවත් රුපියල් ලක්ෂ 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බව එම සංගමයේ උපසභාපති අරෝෂ් රොද්‍රිකෝ මහතා පෙන්වා දී ඇති බව සඳහන්.

මෙම නව බදු ප්‍රතිපත්තිය අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස තුනක කාලයක් සඳහා බලාත්මක වේ. එබැවින් වාහන ආනයනයේදී පවතින රේගු බද්ධ මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යම් වාහනයක රේගු බද්ධ රුපියල් ලක්ෂ 30ක් වශයෙන් පැවතියේ නම්, නව අධිභාරයත් සමඟ වාහනයක මිල රුපියල් ලක්ෂ 15කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන් සඳහන් කරයි.

කෙසේ වුවද ඊයේ දිනට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර තිබූ වාහනවලට මෙම නව බදු සංශෝධනය අදාළ නොවන බව රොද්‍රිකෝ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම වාහන මිල ඉහළ යාමට මෙම නව බද්ද පමණක් නොව, ඇමරිකානු ඩොලරය, ජපන් යෙන් සහ ස්ටර්ලින් පවුම වැනි විදේශ විනිමය අනුපාතයන් ශීඝ්‍රයෙන් ඉහළ යාම, ඉකුත් මැයි මාසයේදී පනවන ලද 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL)වැනි කරුණුද බලපා ඇති බව ආනයනකරුවන් සඳහන් කරයි.

එබැවින් මේ සියලු කරුණු නිසා වාහනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට දරාගත නොහැකි අධික මිලක් ගෙවීමට සිදුවන බවත්, මෙය කිසිසේත්ම අපේක්ෂා නොකළ තත්ත්වයක් බවටත් වාහන ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කර ඇත.

එසේම ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතාට අනුව, රජය විසින් පනවා තිබෙන බද්ධ නිසා විවිධ වාහන මාදිලිවල මිල ගණන් දළ ලෙස මෙසේ ඉහළ යනු ඇති බව වාර්තා වේ.

වැගන් ආර් (Wagon R): රුපියල් ලක්ෂ 7ක් සහ 8ක් අතර ප්‍රමාණයකින්

වෙසල් (Vezel): රුපියල් ලක්ෂ 17ක් හෝ 18ක් පමණ ප්‍රමාණයකින් (සමහර විට එය ලක්ෂ 20ක් දක්වා වුවද ඉහළ යා හැකිය)

යාරිස් ක්‍රොස් (Yaris Cross): රුපියල් ලක්ෂ 14ක් සහ 15ක් අතර ප්‍රමාණයකින්

රේස් හයිබ්‍රිඩ් (Raize Hybrid): රුපියල් ලක්ෂ 13ක පමණ ප්‍රමාණයකින්

ප්‍රාඩෝ (Prado): රුපියල් ලක්ෂ 35ක් සහ 40ක් අතර ඉහළ අගයකින්

කෙසේ වෙතත් විනිමය අනුපාත වෙනස්වීම මත තව දුරටත් මෙම මිල ගණන් වෙනස් විය හැකි බවද ඔහු පෙන්වා දුන් බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: