hit counter

2026 මැයි මස 27 වන බදාදා

2026 මැයි 28, පෙ.ව. 12:13



හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මෙරටට ගෙන්වන ලද තුන්වන ගල්අඟුරු නෞකාව ප්‍රතික්ෂේප කළහොත් අඛණ්ඩ විදුලි සැපයුම පවත්වාගෙන යාම බරපතල ගැටලුවක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අදාළ නෞකාවේ අඩංගු ගල්අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත සීමාවට වඩා වැඩි වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, බියුරෝ වෙරිටාස් (Bureau Veritas) ආයතනය මගින් සිදුකළ පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම ගල්අඟුරුවල අළු ප්‍රතිශතය නියමිත සීමාවට වඩා වැඩි වී ඇත්තේ දශම හයකින් (0.6%) පමණක් බවයි.

එසේම එම ගල්අඟුරුවල තාප ධාරිතාව 5995 සිට 6008 දක්වා පරාසයක පවතින බැවින්, තාප ජනනය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම නෞකාව ප්‍රතික්ෂේප කිරීමේ ඇති ප්‍රායෝගික අපහසුතා පැහැදිලි කළ අමාත්‍යවරයා, මැයි මාසයේ මැද භාගයේ සිට වාරකම් කාලය ආරම්භ වන බැවින් ලබන සැප්තැම්බර් මාසය වන තෙක් යළිත් ගල්අඟුරු ගොඩබෑමේ හැකියාවක් නොපවතින බව ප්‍රකාශ කළේය.

යම් හෙයකින් මෙම නෞකාව ප්‍රතික්ෂේප කළහොත්, එමගින් අහිමි වන විදුලිය ලබා ගැනීම සඳහා වෙනත් තාප විදුලි ප්‍රභවයන් වෙත යොමු වීමට සිදුවන බවත්, අලුතින් ගල්අඟුරු මිලදී ගැනීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

ගල් අගුරු තොගය පුමිතියෙන් බාල වුවද එම තොගය නොරොචෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ විදුලිය ජනනය සඳහා භාවිතා කළ හැකි බවත් පැවසූ කරුණාතිලක මහතා ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු වලට අදාළව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි ද සඳහන් කළේය.

මේ වන විට අදාළ නිලධාරීන් මේ පිළිබඳව නීතිමය කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර, අළු ප්‍රතිශතය වැඩි වීම හේතුවෙන් සැපයුම්කරුට දඩයක් පැනවීමට හෝ ගෙවිය යුතු මුළු මුදලින් යම් ප්‍රමාණයක් රඳවා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වෙමින් පවතී.

අඛණ්ඩ විදුලි සැපයුම සහතික කිරීම වෙනුවෙන් පවතින අවස්ථා පිළිබඳව අවධානය යොමු කරමින් අවසන් තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: