hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 06, පෙ.ව. 12:08



රටේ කුමන ගැටලු මතු වුවද, ජනතාව වීදි බැස විරෝධය පෑමට කටයුතු නොකරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. 

සිරස නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, වත්මන් රජය සහ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් පැය 24 පුරාම සේවය කරන බව ජනතාව දන්නා බැවින් එවැනි තත්ත්වයක් උදා නොවන බවයි.

පසුගිය කාලයේ පැවැති වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරමින්, රජය මේ වන විට විචක්ෂණශීලී ලෙස කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම, අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීම වැනි ක්‍රියාවලින් බැහැරව රජය අනුගමනය කරන ප්‍රතිපත්ති ගරුක වැඩපිළිවෙළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.

ඩොලරය ඉහළ යාම නිසා භාණ්ඩ මිල කෙරෙහි යම් තෙරපුමක් ඇති වුවද, රටේ ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට ලක් වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මතයයි.

කෘෂිකාර්මික අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් අනිල් ජයන්ත මහතා පැවසුවේ, චීනය සහ රුසියාව වැනි රටවල් මෙන්ම පෞද්ගලික අංශය ද සම්බන්ධ කරගනිමින් පොහොර හිඟයකින් තොරව ලබාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය පිළිබඳ දත්ත විශ්ලේෂණය කරමින් රජය මැදිහත් වී ඇති අතර, ගොවීන්ට අවශ්‍ය සහනධාර ලබාදීමට ද කටයුතු කර ඇත.

සමහර පාර්ශවයන් භාණ්ඩ මිල ඉහළ යාම පෙන්වමින් සමාජය තුළ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කළද, ජනතාවට රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳී නොමැති බව අමාත්‍යවරයා පවසයි.

ජනතාව මුහුණ දෙන්නේ නිවැරදි ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් යටතේ පවතින තත්ත්වයකට බවත්, එහි ප්‍රතිඵල ලැබීමට ඇතැම් අයට කාලය ගත විය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: