hit counter

2026 ජූනි මස 16 වන අඟහරුවාදා

2026 ජූනි 16, පෙ.ව. 9:17



ජනප්‍රිය කලාකරු සංගීත් විජේසූරිය මහතා සහ ඔහුගේ මිතුරන් ලංකාවට ගෙන ඒමට සූදානම් වූ ඩොලර් මිලියන 23 ක ආධාර මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හේතුවෙන් ලබාගත නොහැකි බවට තමන් ප්‍රකාශ කළේ යැයි සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ නොමඟ යවන සුලු එකක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය  අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ,  එය තමන් විසින් කිසිදු අවස්ථාවක සිදුකරන ලද ප්‍රකාශයක් නොවන බවයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (15) පැවැති  දේශපාලන වැඩසටහනකදී අමාත්‍යවරයාගෙන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා කියා සිටියේ, මැතිවරණ ව්‍යාපාරයට පෙර පැවැති රැස්වීම් කිහිපයකදී සංගීත් විජයසූර්ය මහතාව දැක තිබුණද, ඉන් පසුව කිසිදු අවස්ථාවක ඔහුව හෝ ඔහුගේ මිතුරන්ව තමන්ට මුණගැසී නොමැති බවයි.

එමෙන්ම මෙම ඩොලර් මිලියන 23 ක මුදල මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට හෝ වෙනත් කරුණකට ඔවුන් කිසිවෙකු තමන්ව හමු වී නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේවෙතත් තමා සහ තම මිතුරන් පිරිසක් එකතු වී ඩොලර් මිලියන 23 ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරිපත් වූ බවත්, එහිදී ජනාධිපතිවරයා විසින් එම කටයුත්ත මුදල් අමාත්‍යවරයා වෙත යොමුකළ බවට පසුගිය සති දෙකක කාලය තුළ කලාකරු සංගීත් විජේසූරිය මහතා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු අනිල් ජයන්ත මහතා කියා සිටියේ, ජනාධිපතිවරයා එම විෂය භාර අමාත්‍යවරයා ලෙස කාට හෝ කතාබහ කිරීමට සංගීත් විජේසූරිය මහතාට පැවසුවේද නැතහොත් එහි සැබෑ තත්ත්වය කුමක්ද යන්න තමන් නොදන්නා බවයි.

එමෙන්ම ඒ පිළිබඳව සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි සංගීත් විජේසූරිය මහතාගෙන්ම විමසිය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වත්මන් සමාජය තුළ වගකිවයුත්තන් සිදුනොකරන ලද ප්‍රකාශ, ඔවුන් විසින් සිදුකරන ලද ප්‍රකාශ ලෙස හුවා දක්වමින් වැරදි සහ නොමඟ යවන සුලු තොරතුරු සමාජගත කිරීමේ ප්‍රවණතාවක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙනවා.

 මෙය එක් සිදුවීමක් පමණක් නොවන බවත්, තමන් සම්බන්ධයෙන් තවත් මෙවැනි වැරදි ප්‍රකාශ කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දුටු බවත්  අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: