hit counter

2026 ජූනි මස 19 වන සිකුරාදා

2026 ජූනි 20, පෙ.ව. 12:09



අම්බලන්ගොඩ, ඌරවත්ත ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මහා පෙරහැර මංගල්‍යය වීථි සංචාරය කිරීම හේතුවෙන් අද 20 වැනි දින ප්‍රදේශයේ විශේෂ රථවාහන ගමනාගමන සීමා කිරීම් කිහිපයක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ මහා පෙරහැර අද දින දහවල් 02.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ දීර්ඝ කාලය තුළ ගාල්ල සහ කොළඹ සම්බන්ධ කෙරෙන ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි සඳහන් වේ.

මෙම පෙරහැර ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානයෙන් නිල වශයෙන් පිටත් වී ඌරවත්ත ගංගාරාම මංසන්ධියෙන් ප්‍රධාන ගාලු පාර ඔස්සේ ඉදිරියට ගමන් කොට හිරේවත්ත බුදු පිළිමය අසලින් මහ වීදිය ඔස්සේ අම්බලන්ගොඩ ප්‍රධාන වටරවුම දක්වා ගමන් කිරීමට නියමිතය.

පසුව අම්බලන්ගොඩ වටරවුමෙන් නැවතත් ප්‍රධාන ගාලු පාර ඔස්සේ ඌරවත්ත ගංගාරාම මංසන්ධිය දක්වා පැමිණ එම මංසන්ධියෙන් හරවා නැවත ඌරවත්ත ගංගාරාම පුරාණ විහාරස්ථානය වෙතම ගෙවැදීමට නියමිත බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා කාලය තුළ ඉහත සඳහන් කළ ප්‍රධාන මාර්ගය භාවිතා කරනු ලබන සාමාන්‍ය මහජනතාවගෙන් සහ සියලුම රියැදුරන්ගෙන් අනවශ්‍ය ප්‍රමුඛ වාහන තදබදයන් මඟහැරවා ගැනීම සඳහා පොලීසිය විසින් පෙන්වා දෙනු ලබන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිස් මූලස්ථානය කාරුණිකව ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග

කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන ( බර වාහන හැර ) සංඝරාජ විහාරය අසලින් කැපු ඇල හන්දිය හරහා වතුගෙදර හන්දිය හරහා පොල්වත්ත හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් බටපොල හරහා කහව මංසන්දිය දෙසින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ගාල්ල දෙසට ගමන් කල හැකිය.

ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර) කහව බටපොල මංසන්දියෙන් ඇතුළු වී මිටියාගොඩ හන්දිය හරහා පොල්ලැව්ව හන්දියෙන් පොල්වත්ත හන්දිය හරහා වතුගෙදර මාර්ගය ඔස්සේ කැපු ඇල හන්දිය හරහා සංඝරාජ විහාරය අසලින් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී කොළඹ දෙසට ගමන් කල හැකිය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: