hit counter

2026 ජූලි මස 24 වන සිකුරාදා

2026 ජූලි 24, පෙ.ව. 12:09



“හදිසියේ පොහොසත් වූ පුද්ගලයන් පිළිබඳව වාර්තා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය කළ ඉල්ලීම වහා ඉවත් කරගත යුතුයි” යන අන්තර්ගතයෙන් යුත් පුවතක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කරන්නේ, 2026 ජූලි 9 වන දින සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කළ නිවේදනයක් විකෘති කරමින් එම ප්‍රචාරය ගෙන යන බවයි.  අදාළ නිවේදනයේ සඳහන් කර තිබුණේ, නීත්‍යානුකූල ආදායම් මාර්ගයක් නොමැතිව හදිසියේ විශාල දේපළ උපයාගෙන සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් කටයුතු කරන බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොලිසිය අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින අතර, මහජනතාවගෙන් ලැබුණු තොරතුරු මත 2024, 2025 සහ 2026 වර්ෂවලදී රුපියල් කෝටි 364කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ අධිකරණ නියෝග මත තහනම් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පෙන්වා දෙයි.

නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා පොලිසියට පැහැදිලි විමර්ශන බලතල පවරා ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම විදේශ රටවල සේවය කිරීමෙන්, නීත්‍යානුකූල ව්‍යාපාර හෝ වෙනත් නීත්‍යානුකූල ආදායම් මාර්ග මගින් මුදල් හා දේපළ උපයාගත් පුරවැසියන්ට මෙම ක්‍රියාමාර්ගවලින් කිසිදු බාධාවක් නොමැති බවත්, ඔවුන්ගේ නීත්‍යානුකූල දේපළ ආරක්ෂා කිරීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් බවත් අවධාරණය කරයි.

ඒ අනුව, ඇතැම් පුද්ගලයන් හෝ කණ්ඩායම් මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් පොලිස් නිවේදන විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය හෝ නොමඟ යවන සුළු තොරතුරු ප්‍රචාරය කිරීම පිළිගත නොහැකි බව පොලිසිය සඳහන් කරයි. \එවැනි තොරතුරු විශ්වාස කිරීමෙන් වැළකී, නිවැරදි තොරතුරු සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල මාධ්‍ය සහ නිල සන්නිවේදන නාලිකා පමණක් භාවිත කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: