hit counter

2026 සැප්‍තැම්‍බර් මස 13 වන ඉරිදා

2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:11



13න් පහළ සමස්ත ලංකා පැසිපන්දු තරගාවලියේ A කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය සමත් වූයේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 35–26ක් ලෙස පරාජය කරමින්.

මෙම ජයග්‍රහණය ශාන්ත පාවුළු පැසිපන්දු ක්‍රීඩාවට සුවිශේෂී වැදගත්කමක් එක් කරන්නේ එය කලක් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු පිටියේ අසමසම බලවේගයක් වූ මිලාගිරිය ශාන්ත පාවුළු කණ්ඩායමේ නැවත නැගී සිටීමක් සනිටුහන් කර හැකිය.

ශාන්ත පාවුළු පැසිපන්දු ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය ගොඩනැගීමට ප්‍රමුඛ දායකත්වයක් ලබාදුන් ප්‍රධාන පුහුණුකරු T. M. ආමත් මහතා, වසර 35කට අධික කාලයක් පුරා පාසලේ පැසිපන්දු ක්‍රීඩාව වෙනුවෙන් කැපවී සිටීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ඔහුගේ මගපෙන්වීම යටතේ ශාන්ත පාවුළු පැසිපන්දු කණ්ඩායම් දශක දෙකකට ආසන්න කාලයක් පාසල් පැසිපන්දු පිටියේ ප්‍රබලතම කණ්ඩායම් අතර රැඳී සිටිමින් අඛණ්ඩ ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා.

එම ස්වර්ණමය යුගයේ මතකයන් නැවත අවදි කරමින් නව පරපුරක් ශූරතා කුසලානයක් කරා ගෙන යාම ආමත් මහතාගේ දීර්ඝකාලීන සේවයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයකි. මෙම ජයග්‍රහණය එබැවින් හුදෙක් වයස අවුරුදු 13න් පහළ කණ්ඩායමක ශූරතාවක් නොව, ශාන්ත පාවුළු පැසිපන්දු ක්‍රීඩාවේ නැවත පැමිණීමේ සලකුණක් ලෙසද සැලකිය හැකිය.

අවසන් මහා තරගයේදී ලයිසියම් කණ්ඩායම පළමු කාර්තුවේදී ලකුණු 7–5ක් ලෙස පෙරමුණ ගත්තද, දෙවැනි කාර්තුවේදී තරගයේ පාලනය සියතට ගත් ශාන්ත පාවුළු ක්‍රීඩිකාවෝ අර්ධ කාලය වන විට ලකුණු 15–10ක් ලෙස ඉදිරියට පැමිණියහ. තෙවැනි කාර්තුව අවසානයේදී ලකුණු 23–18ක් ලෙස පෙරමුණ රැකගත් ඔවුහු අවසන් කාර්තුවේදී තරගය සම්පූර්ණයෙන්ම සියතට ගනිමින් ලකුණු 35–26ක ජයක් වාර්තා කළා.

ශාන්ත පාවුළු කණ්ඩායමේ උප නායිකා සිනෙලි දුහන්සා තරගයේ වටිනාම ක්‍රීඩිකාව (MVP) ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, නායිකා චෙනායා රණසිංහ හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා.

චෙනෙලි රණසිංහ, සෙතුනි මල්ලවාරච්චි, ජනුලි දසනායක, චහානා ආරියරත්න, එහංසා දනාන්දි, ගයින්දි පියදාස, මෙත්මා බස්නායක, සෙනුල්ෂි සරසිත්, ජෙනුලි චන්ද්‍රසේන සහ අනූකි හංසදී ද තරගය පුරා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. 

ප්‍රධාන පුහුණුකරු T. M. ආමත් මහතා සමඟ T. F. ආමත් මහතා, එමෙල්ඩා ද සොයිසා මහත්මිය සහ එනේෂි ද සොයිසා මහත්මිය සහායක පුහුණුකරුවන් ලෙස කණ්ඩායමේ තාක්ෂණික හා මානසික සූදානම වෙනුවෙන් දායක වූ අතර, පැසිපන්දු භාර චමෝදි මධුභාශිනි මහත්මියගේ මගපෙන්වීමද කණ්ඩායමේ ජයග්‍රහනයට ශක්තියක් විය.