hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:10



ශ්‍රී ලංකාවේ නව ජලභීතිකා පාලන සහ සුනඛ ලියාපදිංචි කිරීමේ නීති යටතේ, ජලභීතිකාව වැළඳී ඇතැයි යන සැකය පමණක් මත සතුන් අත්තනෝමතික ලෙස මරා දැමීමට හෝ වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසියට තවදුරටත් නීතිමය බලයක් නොමැති බව පශු වෛද්‍ය සහ සත්ව සුභසාධන සන්ධානයේ (AWC) විධායක සාමාජික වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, නව ‘ජලභීතිකාව තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ මගින් දශක ගණනාවක් පැරණි ‘ජලභීතිකා ආඥාපනත’ (476 වන පරිච්ඡේදය) අහෝසි කර, පශු වෛද්‍ය පරීක්ෂණ, නිරීක්ෂණ සහ විද්‍යාත්මක ක්‍රමවේද මත පදනම් වූ නව පාලන ක්‍රමයක් හඳුන්වා දෙන බවයි.

මෙම පනත් කෙටුම්පත 2026 සැප්තැම්බර් 7 වැනිදා ගැසට් කර තිබේ.

පැවති නීති යටතේ රෝගී හෝ ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන සුනඛයන් විනාශ කිරීමට පොලිසියට බලතල පැවති බවත්, ඇතැම් අවස්ථාවලදී එම බලතල සැකය මත පදනම්ව සතුන් ඝාතනය කිරීමට භාවිත කර ඇති බවත් වෛද්‍ය නානායක්කාර මහතා පැවසීය.

“ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කිරීම පමණක් පදනම් කරගෙන පොලිසියට තවදුරටත් සතුන් මරා දැමීමට හෝ වෙඩි තබා ඝාතනය කිරීමට නොහැකියි,” යනුවෙන් ඔහු පැවසීය

 නව නීතිමය රාමුව යටතේ, ජලභීතිකාව වැළඳී ඇතැයි සැක කෙරෙන සහ පොදු ස්ථානවල සිටින සුනඛයන් වහාම ඝාතනය කිරීම වෙනුවට අල්ලාගෙන, නියමිත රඳවා තැබීමේ හා නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත යොමු කළ යුතු බවද ඔහු පැහැදිලි කළේය.

එම සතුන්ට ජලභීතිකාව වැළඳී ඇත්දැයි තීරණය කිරීම සඳහා රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් නියමිත කාල පරාසයන් තුළ පරීක්ෂණ සිදු කළ යුතු බවද වෛද්‍ය නානායක්කාර මහතා සඳහන් කළේය. සතෙකුට ජලභීතිකාව වැළඳී ඇති බව රජයේ පශු වෛද්‍යවරයෙකු විසින් තහවුරු කර ඇති අතර, මහජනතාවට ඇති විය හැකි අවදානම වැළැක්වීම සඳහා එම සතා ඝාතනය කිරීම අවශ්‍ය බව තීරණය කළ අවස්ථාවක පමණක් euthanasia සඳහා අවසර හිමිවන බව ඔහු පැවසීය.

එම ක්‍රියාවලිය රජයේ පශු වෛද්‍යවරයා හෝ ඔහු විසින් බලය පවරන ලද පුද්ගලයෙකු විසින් සිදු කළ යුතු බවද සඳහන් කළේය. “ජලභීතිකා පාලනය දැන් විද්‍යාත්මක, මානුෂීය සහ පශු වෛද්‍ය ප්‍රමිතීන් මත පදනම්ව සිදු කෙරෙනවා,” යැයි වෛද්‍ය නානායක්කාර මහතා පැවසීය.

ජලභීතිකාව නොමැති බව තහවුරු වන සුනඛයන්ට එන්නත් ලබාදීම, වන්ධ්‍යාකරණය කිරීම සහ ඔවුන් අල්ලාගත් ස්ථානයටම නැවත මුදාහැරීම නව ක්‍රමවේදය යටතේ සිදු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නව නීති සම්පාදනය මගින් සුනඛයන් සඳහා වාර්ෂික ජලභීතිකා මර්දන එන්නත් ලබාදීම සහ සුනඛ ලියාපදිංචිය අනිවාර්ය කිරීමටද ප්‍රතිපාදන ඇතුළත් වන බව වෛද්‍ය නානායක්කාර මහතා සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ, නව නීතිමය රාමුව යටතේ ජලභීතිකාව පිළිබඳ සැකය පමණක් පදනම් කරගෙන සතෙකු අත්තනෝමතික ලෙස ඝාතනය කිරීම, පොලිසිය ලවා වෙඩි තැබීම හෝ සත්වයාට කෲර ලෙස සැලකීම සඳහා කිසිවෙකුටත් නීතිමය බලයක් නොමැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: