hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2026 ඔක්‍තෝබර් 15, පෙ.ව. 12:15



 රට තුළ ඇති වූ අර්බුදය හමුවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දැඩි ලෙස දුර්වල වී ඇති බවත්, රාජ්‍ය සේවකයන්ට නිසි පහසුකම් නොමැතිව රාජකාරි ඉටු කිරීමට සිදුව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය.

උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතනවල පවතින සම්පත් හා වාහන හිඟය හේතුවෙන් රාජකාරි කටයුතු පවත්වාගෙන යාම දැඩි අභියෝගයක් වී ඇති බවයි.

තමන්ට අමාත්‍යාංශයෙන් ලබාදී තිබූ කැබ් රථ දෙකම කෙටි කලක් තුළ කාර්මික දෝෂයන්ට ලක්ව මඟ නතර වූ බවත්, ඉන් අනතුරුව පෞද්ගලික හිතවතෙකුගේ වාහනයකින් රාජකාරි සඳහා ගමන් කිරීමට සිදුවූ බවත් හෙතෙම අනාවරණය කළේය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙසේද සඳහන් කළේය.

“පසුගිය කාලයේ රට ආර්ථික වශයෙන් කඩා වැටෙන විට දේශපාලනය වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයත් අඩපණ වුණා. ගොවි ජනතාව නිතර රාජ්‍ය සේවයට දොස් පැවරුවද, රාජ්‍ය ආයතන කොතරම් දුර්වල වී ඇත්දැයි අප තේරුම් ගත යුතුයි. එක් පැත්තකින් රාජ්‍ය සේවකයන්ට ජීවත් වීමට ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නෑ. පශු සම්පත් වැනි ක්ෂේත්‍රවල බොහෝ නිලධාරීන් රට හැර ගියත්, රට තුළ රැඳී සිටි අය අඩු වැටුපට විශාල කැපකිරීමක් කරනවා. කිසිදු උද්ඝෝෂණයකින් හෝ බලපෑමකින් තොරව අපේ රජයේ මංගල අයවැයෙන්ම රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තීරණය කළේ ඒ නිසයි. ඉදිරි අයවැය ලේඛන මගිනුත් එම වැටුප් තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නවා.

අනෙක් කරුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රමාණවත් පහසුකම් නොමැතිකමයි. නිලධාරීන්ට ක්ෂේත්‍ර කටයුතු සඳහා යාමට නිසි වාහන නෑ. අමාත්‍යාංශයෙන් මට ලබාදුන් කැබ් රථ දෙකම මඟදී කැඩුණා. ඇමතිවරුන්ගේ පටන් සාමාන්‍ය නිලධාරියා දක්වාම මේ ගැටලුවට මුහුණ දෙනවා. නිලධාරීන්ගේ වාහන නිතර කැඩෙනවා නම් ඔවුන්ට රාජකාරි කරන්න බැහැ. ඒ නිසා රාජ්‍ය සේවය සක්‍රීය කිරීමට අලුතින් වාහන ගෙන්වීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: