hit counter

2026 ඔක්‍තෝබර් මස 20 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 20, ප.ව. 3:27



රජය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ, දිග කොණ්ඩය හෝ ශරීරයේ පච්ච නිසා පවා පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට හැකිවනු ඇතැයි යනුවෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති කර තිබෙන කාරණය පිළිබඳව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළා.

ඒ, අද (20) පාර්ලිමේන්තු සභා වාරයේදීයි.

අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම සත්‍ය ඒවා ලෙස ගත නොහැකි බවයි.

එහිදී සලකා බැලෙන්නේ, කිසියම් පාතාල කල්ලියකට හෝ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට සම්බන්ධ සාමාජිකයන් විසින් හඳුනාගැනීම සඳහා පමණක් භාවිතා කරන විශේෂිත සංකේත හෝ සලකුණු පමණක් බවත්, මෙය ජාත්‍යන්තරව පිළිගත් නිර්ණායක මත පදනම්ව සකස් කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැහැදිලි කර සිටියා.

නීතිඥ හර්ෂණ නානායක්කාර,

”අද දිනේදී සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතේ මුල් වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. සාමාන්‍යයෙන් එහෙම ඉදිරිපත් කරපුවාම එය දෙවැනි වර කියවීමේ විවාදයේදී තමයි අපි කරුණු දක්වන්නේ. නමුත් අද දින මට ඒ ගැන යම් කරුණක් දක්වන්න වෙනවා. මක් නිසාද මේ වනවිට මුහුණු පොත පුරා සමාජ මාධ්‍ය තුළ ඉතාම විකෘති අර්ථකථන දෙමින් යම් තොරතුරු ගණනක් යන නිසා.

විශේෂයෙන්ම ඔවුන් කියන්නට යෙදෙනවා මේ ගේන අලුත් නීති යටතේ කොණ්ඩේ වවලා තිබුණොත්, පච්ච කොටලා තිබුණොත් හිරේ යන්න පුළුවන් අපරාධමය වරදක් කියලා. ඒක නිසා මේක ලොකු භයානකකමක් තියෙනවා කියලා.

අපි කැමතියි අපි ගේන පනත් විවේචනය වෙන එකට. විවේචනය වෙන්න එපැයි, එහෙමනේ නීතියක් හැදෙන්නේ. ඒ වගේම අපි කැමතියි අපි ගේන පනත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙනවට. ඒක හොඳයි, මොකද ඒ අනුව තමයි නීතිය තවත් ශක්තිමත් වෙලා ජනතාවට සේවයක් වෙන නීතිය වෙන්නේ.

අපි සියලු දෙනා දන්නවා මේ රටේ සංවිධානාත්මක අපරාධ විශාල පිළලයක් වෙලා තිබෙන්නේ. මත්ද්‍රව්‍ය, අයිස් ජාවාරම්, මිනී මැරුම්, පැහැරගෙන යෑම්, දේපළ හානි, පුද්ගල හානි කෙළවරක් නෑ. එවන් රටක අපි දේශපාලනික සහ ප්‍රතිපත්ති වශයෙන් තීන්දුවක් ගත්තා මේ රටේ දූෂණය, වංචාව නවත්තනවා වගේම පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරන්න ඕනයි කියලා, අයිස් මර්දනය කරන්න ඕනයි කියලා. නමුත් අපේ තියෙන නීති රීති ප්‍රමාණවත් වුණේ නෑ. ඒ නිසා තමයි සංවිධානාත්මක පාතාල කල්ලි විසින් කරන අපරාධ නවත්වීම සඳහා, එහෙම නැත්නම් ඒවා විමර්ශනය කිරීම, ඒවා නඩු පැවරීම සහ දඬුවම් දීම සඳහා වූ අලුත් පනතක් ගේන්නේ. අපේ ගරු ජනාධිපතිතුමාත් කිව්වේ මේ රටේ පාතාලය, අපරාධ කරන එක අපි නවත්තනවා, තියෙන නීති මදි නම් අලුතෙන් නීති ගෙනල්ලා හරි මේක නවත්තනවා කියලා, අන්න ඒ අනුව ගෙනාපු පනතක්.

එතකොට අරමුණ පැහැදිලියි. එහෙමනම් මොකක්ද මේ එන කතාව?

මේ පනතේ 4(1) වගන්තිය කියනවා සංවිධානාත්මක අපරාධයක සාමාජිකයෙක් වී සිටීම.

4(2) වගන්තිය කියනවා මොන යම් අවස්ථාවල ද ඒ පුද්ගලයා පාතාල හෝ අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් වෙන්න සලකා බැලිය හැකි කරුණු මොනවාද කියලා.

ඒකෙදී කරුණු 12ක් සඳහන් වෙනවා.

ඒ කරුණු 12න් එක කරුණක් තිබෙනවා, ඒ 4(2)(ඇ) – සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන් භාවිතා කරන ඇඳුම් විලාසිතා, හස්ත මුද්‍රා, භාෂාව, පච්ච සටහන් ඒ තැනැත්තා විසින් පාවිච්චි කරන්නේද යන්න.

මෙන්න මේක තමයි විකෘති අර්ථකථනය දෙන්නේ.

මෙතන ඒ විකෘති අර්ථකථනය දෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි එක වචනයක් හිතාමතා පාවිච්චි කරන්නේ නෑ, මොකක්ද? “සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ ප්‍රකට සාමාජිකයන්”. මතක තියාගන්න, මේක තනි තනි පුද්ගලයන්ට නෙමෙයි, සංවිධානයක් එක්ක වැඩ කරන සාමාජිකයන්ට තමයි මේ පනත එල්ල වෙන්නේ.

අපි මේක අහසෙන් ගලවලා ගත්තේ නෑ. අපි දන්නවා අපේ රටේ සුලභ නොවුණට ජපානය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, සිංගපූරුවේ පවා යම් සංවිධාන ඉන්නවා (මම නම් කියන්න යන්නේ නෑ අපරාධ කල්ලිවල) ඔවුන් යම් අවස්ථාවලදී යම් හස්ත මුද්‍රා, යම් අවස්ථාවල තමන් ඒ Group එකට අයිති කියලා පෙන්නන tattoo එකක්, එහෙමත් නැතිනම් තමන් ඒ කණ්ඩායම තුළ ඉන්න rank එක/තත්ත්වය පිළිඹිබු කරන්න ඒවා පාවිච්චි කරනවා.

එතකොට යමෙක් අපරාධ කල්ලියක සාමාජිකයෙක්ද කියලා බලන්න අන්තර්ජාතිකව විමර්ශකයෝ පාවිච්චි කරන එක yardstick එකක් තමයි මෙන්න මේ tattoos, ඇඳුම් පැළඳුම්.

මේකේ කොහෙවත් ‘කොණ්ඩයක්’ ගැන නෑ. මම දන්නේ නෑ ඒක කොයි ලෝකෙන් ආවද කියලා. එතකොට මේ පනතෙන් අර්ථවත් කරන්නේ එහෙම දෙයක් විනා වෙනත් කාරණාවක් නොවෙයි. ඉතින් ඒක නොදැනගෙන නෙමෙයි මේ තොරතුරු ප්‍රචාරය කරන කට්ටිය ප්‍රචාරය කරන්නේ, මොකද සමහර අය නීතිඥවරු, ඔවුන්ට ඒක කියවන්න බැරි අඩුපාඩුවක් නැහැ.”

”අපේ රටේ ඒක සුලභ නෑ. නමුත් එතකොට සමහර අය අහන්න පුළුවන් එහෙනම් ඇයි ඒ නීති කෑල්ල ගේන්නේ කියලා. ඒක ගේන්න හේතුව තමයි ඉදිරි අනාගතය ගැනත් පුරෝකථනය කරලා, ඒ ආකාරයේ පාතාල සංවිධාන තියෙනවා නම් එයත් අපට සලකා බැලිය හැකි කාරණයක්. ඒක තමයි නීතියෙන් කියන්නේ, conclusive නැහැ.

”මම කියන්න යන්නෙ මේ ජනතාවට ඇති කරන භීතිය, කොණ්ඩේ වැව්වොත් අල්ලන් යනවා, පච්චයක් කෙටුවොත් අපරාධයක්, ඇඳුමක් ඇන්දොත් අල්ලන් යන්න පුළුවන්, පොලිසියට පුළුවන් ඕන කෙනෙක් අරන් ගිහිල්ලා දවස් ගණන් තියාගන්න කියන එක – සම්පූර්ණයෙන්ම අසත්‍ය, නොමග යවන සුළු එකක්. මම දන්නවා ඒක සමාජ මාධ්‍යවලින්, යම් දේශපාලන පක්ෂත් දැන් ඒක උස්සගෙන දුවන ගතියක් පෙන්නුම් කරනවා.

මම මේ රටේ ජනතාවට කියන්නේ මෙච්චරයි. තමන් කැමති ඇඳුමක් අඳින එක, තමන් පච්චයක් කොටන එක, තමන්ට අවශ්‍ය කොණ්ඩ මෝස්තරයක් තියාගන්න එක තමන්ගේ මූලික අයිතිවාසිකමක්, තමන්ට ඒ අයිතිවාසිකම තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රකාශ කරනවට වඩා හොඳයි යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. එතනට ගිහිල්ලා මේක වැරදි නම්, ව්‍යවස්ථා විරෝධී නම් කරුණාකරලා අභියෝගයක් කරන්න. විවේචන අපි ගන්න සූදානම්. මේ පනත පිළිබඳ අපි හොඳ විවාදයක් කරමු. මම හිතන්නේ අපේ Consultative Committee එක තියෙනවා, එතනටත් ඇවිල්ලා අදහස් දෙන්න.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: