hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 12:08



මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයන් අතරින් තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි වීමට සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි.

අද දෙරණ  ‘BIG FOCUS’ වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළේය.

මේ වන විට පුද්ගලයන් මිලියන 13ක් පමණ TIN අංක සඳහා ලියාපදිංචි වී ඇති බවත්, මෙරට වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ජනගහනය මිලියන 17ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව තවත් මිලියන 4ක පමණ පිරිසක් TIN අංකය ලබාගෙන ලියාපදිංචි විය යුතු බවට හඳුනාගෙන ඇතැයි කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

“මේ වන විට මිලියන 13ක පිරිසක් හෙවත් ලක්ෂ 130ක් බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මිලියන 17ක එනම් ලක්ෂ 170ක ජනගහනයක් සිටිනවා. ඒ අනුව, තවත් මිලියන 4ක පමණ පිරිසක් ලියාපදිංචි විය යුතු පිරිස ලෙස අප හඳුනාගෙන තිබෙනවා.

පසුගිය කාලයේදී අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් සඳහා පමණයි අප TIN අංකය අනිවාර්ය කළේ. නමුත් නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුදෙනාම TIN අංකයක් ලබාගත යුතුයි.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ අනියත බියක් ඇති වී තිබුණා. දැනටත් එවැනි බියක් පවතිනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ සෑම පුද්ගලයෙකුම බදු ගෙවිය යුතු නැහැ. එවැනි අවශ්‍යතාවක් නැහැ.

මෙහි නීතිමය අවශ්‍යතාව ඇති කර තිබෙන්නේ බදු ක්‍රමය විධිමත් කිරීම සඳහායි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: