hit counter

2026 නොවැම්‍බර් මස 17 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 17, ප.ව. 3:49



ලෝක බැංකු ණය වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන සමාජ ආරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව සහ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදානය ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර පහසුකම් යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ඔක්තෝබර් 13 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මීට පෙර අනුමැතිය ලබා දී තිබුණි.

මේ වන විට ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ පවුල් 8,660ක් සඳහා අදාළ ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී එම බැංකුව විසින් ක්‍රියාත්මක කළ වැඩසටහන අවසන් කර ඇත.

ලෝක බැංකු ණය වැඩසටහනේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය මඟින් පළමු අදියරේදී දිස්ත්‍රික්ක 07ක පවුල් 4,900ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දී ඇති අතර, එහි දෙවන අදියරේදී දිස්ත්‍රික්ක 05ක මේ වන විට හඳුනාගෙන ඇති පවුල් 6,600ක් සඳහා ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන ලබා දීමට සැලසුම් කර තිබේ.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමේදී ලද අත්දැකීම් මත පදනම්ව, සවිබල ගැන්වීමේ පවුල් ඒකකයක් සඳහා ලබා දෙන මූල්‍ය ප්‍රදානය ඉහළ නැංවීමට සහ ව්‍යාපෘතියේ ගුණාත්මකභාවයට හානියක් නොවන පරිදි අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව වැඩි කිරීමට ලෝක බැංකුවේ එකඟතාව ලැබී ඇත.

ඒ අනුව, සවිබල ගැන්වීමට අපේක්ෂිත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 10,975 සිට 11,500ක් දක්වා වැඩි කිරීමටත්, දැනට ලබා දෙන රුපියල් 150,000ක උපරිම ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදාන සීමාව ව්‍යාපෘතියේ දෙවන අදියරේදී හඳුනා ගනු ලබන සුදුසුකම්ලත් ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් 200,000ක් දක්වා ඉහළ නැංවීමටත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: